
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ පළඟ වටය යටතේ ගුවන් හමුදාව සහ පොලිසිය අතර සිකුරාදා (13 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 36-12 ක ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත් විය.
මෙවර තරගාවලියේදී පොලිසිය ලැබූ පස්වැනි ජය මෙන්ම ගුවන් හමුදාවට එරෙහිව ලැබූ පළමු ජයද මෙය විය. තරගාවලියේ මූලික වටයේදී ගුවන් හමුදාව හමුවේ පොලිසිය ලකුණු 26-17 ක් ලෙස පරාජය විය.
ගුවන් හමුදා කණ්ඩායමේ නිවස්න ක්‍රීඩාංගණය වන රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 19-12 ක් ලෙස පෙරමුණ ගැනීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී පොලිස් ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර ගුවන් හමුදා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි.
දෙවැනි අර්ධයේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 17 ක් එක්කර ගැනීමට සමත් වූ පොලිස් ක්‍රීඩකයෝ, ගුවන් හමුදාවට එකදු ලකුණක් හෝ රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදුන්හ. ඒ අනුව තරගයේ නියමිත වේලාව අවසන් වන විට පොලිසියට ලකුණු 36-12 ක පහසු ජයක් හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.