Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පළමු කොටසේ අවසන් පූර්ව තරග 30 වැනිදා
ආසියානු රග්බි

පළමු කොටසේ අවසන් පූර්ව තරග 30 වැනිදා

editorial - 2024 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන පළමු කොටසේ ආසියානු රග්බි ශූරතාවලියේ අවසන් පූර්ව තරග මෙම මස 30 වැනිදා කොළඹ, රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. එහිදී කටාරයට එරෙහිව කසකස්ථානයත්, ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාවත් තරග බිමට පිවිසෙනු ඇත. 

මෙම වසර (2024) ආරම්භ වීමට පෙර ආසියානු රග්බි පළමු කොටසට ශ්‍රී ලංකාව, කටාරය සහ පාකිස්ථානයත්, දෙවැනි කොටසට ඉන්දියාව, කසකස්ථානය සහ ඉරානයත් ඇතුළත්ව සිටියේය. කෙසේ වුවත් පාකිස්ථානය සහ ඉරානය මෙම වසරේ තරග වාරයෙන් ඉවත්වීමත් සමග කොටස් දෙකෙහිම රටවල් දෙක බැගින් ඉතිරි විය. 
එබැවින් දෙවැනි කොටසේ සිටි ඉන්දියාව සහ කසකස්ථානය පළමු කොටසට ඇතුළත් කළ ආසියානු රග්බි සම්මේලනය, ඔවුන්ට ශ්‍රී ලංකාව සහ කටාරය සමග එක්ව තරග වැදීමට අවස්ථාව සලසා දුන් අතර පළමු කොටසේ තරගාවලිය රටවල් 4 කින් සමන්විත තරගාවලියක් බවටද පත්කළේය. 

මෙම තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙන තරගාවලියක් බැවින් 30 වැනිදා පැවැත්වෙන තරගවලදී ජය ලබන කණ්ඩායම් දෙක මැයි මස 4 වැනිදා ශූරතාව වෙනුවෙන්ද, පරාජයට පත්වන කණ්ඩායම් දෙක එදිනම තෙවැනි ස්ථානය වෙනුවෙන්ද තරග වදිනු ඇත. 

පළමු කොටසේ ආසියානු රග්බි ශූරතාවලියට සත්කාරකත්වය දැක්වීමට හැකි වීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා. ජාත්‍යන්තර රග්බි තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ වසර 7 කට පසුවයි. කටාරය, කසකස්ථානය සහ ඉන්දියාව ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. යැයි තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති නලින් ද සිල්වා මහතා කියා සිටියේය. 

ශ්‍රී ලංකාව අවසන් වරට පළමු කොටසේ ආසියානු රග්බි ශූරතාවලියකට සහභාගි වූයේ 2019 වසරේ චීන තායිපේහිදීය. එහි අවසන් පූර්ව වටයේදී පිලිපීනය හමුවේ ලකුණු 39-22 ක් ලෙස පරාජයට පත්වුවද, තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ලකුණු 72-17 ක් ලෙස සත්කාරක චීන තායිපේ පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. 


තරග කාල සටහන 
අප්‍රේල් 30 පස්වරු 4.00 ට - කටාරය සහ කසකස්ථානය අතර 
අප්‍රේල් 30 පස්වරු 7.00 ට - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 
මැයි 4 පස්වරු 4.00 ට - තෙවැනි ස්ථානය සඳහා 
මැයි 4 පස්වරු 7.00 ට - ශූරතාව සඳහා 


අදහස් (0)

පළමු කොටසේ අවසන් පූර්ව තරග 30 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.