Last Update  :  2024-05-21 12:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නායකයෝ මාධ්‍ය හමුවෙන් නැගිට යති
ආසියානු රග්බි

නායකයෝ මාධ්‍ය හමුවෙන් නැගිට යති

editorial - 2024 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ආසියානු රග්බි සංගමයේ සංවිධායකත්වයෙන් කොළඹ, රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (29 වැනිදා) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුව අතරතුර කණ්ඩායම් නායකයන් අසුන්වලින් නැගිට යෑම එහි සිටි කාගේත් කතාබහට ලක්විය. 

ඔවුන් එලෙස මාධ්‍ය හමුවෙන් පිටත්ව ගියේ තරගාවලියක් ආරම්භයේදී ඊට සහභාගි වන කණ්ඩායම්වල නායකයන් ජයග්‍රාහී කුසලාන සමග ගනු ලබන සමූහ ඡායාරූපයට පවා පෙනී නොසිටිමින් වීමද වඩාත් කැපී පෙනුණ සිදුවීමක් බවට පත් විය. 

ආසියානු මට්ටමේ ජාත්‍යන්තර තරගාවලියකට සත්කාරකත්වය දැක්වීමේදී වැඩි අවධානයක් යොමුකළ යුත්තේ තරගාවලියට සම්බන්ධ කරුණු වලට වුවත්, මාධ්‍ය හමුවේදී වැඩි වශයෙන් කතාබහට ලක් වූයේ වෙනත් කරුණු කාරණා සම්බන්ධයෙන් වීම නායකයන්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව ඇතැයිද පසුව දැනගන්නට ලැබිණ. 

ශ්‍රී ලංකාව, කටාරය, ඉන්දියාව සහ කසකස්තානය සහභාගි වන මෙම තරගාවලිය හෙට (30 වැනිදා) ආරම්භ වන අතර අද පැවැත්වෙන තරගවලදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාවත්, කටාරයට එරෙහිව කසකස්තානයත් තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගවලින් ජය ලබන කණ්ඩායම් මැයි මස 4 වැනිදා ශූරතාව වෙනුවෙන් තරග වදිනු ඇත. 

තරගාවලිය සඳහා ඒ ඒ කණ්ඩායම්වල සූදානම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මාධ්‍ය හමුවට සහභාගි වූ නායකයන්ට අවස්ථාවක් ලබා නොදුන් නමුත්, ආසියානු රග්බි නිලධාරීන්ගේ ගුණ වර්ණනා කිරීම සඳහා ශ්‍රී ලංකා රග්බි නිලධාරීන් වැඩි කාලයක් කා දැමීම එහි සිටි බොහෝ දෙනාගේ විවේචනයට ලක් විය. 

මෙම තරගාවලිය පරිසර හිතකාමී තරගාවලියක් ලෙස සංවිධානය කරන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳව ස්වාමීන් වහන්සේ නමක් සහ මහාචාර්යවරයකුද අදහස් දැක්වූ අයුරු දැකගත හැකි විය. තරගාවලියේදී ක්‍රීඩකයන් ලබාගන්නා උත්සාහක දිනුම් ප්‍රමාණයට සමාන පැල ප්‍රමාණයක් අලුතින් රෝපණය කිරීමට කටයුතු යොදා ඇති බව එහිදී ඔවුහු නිවේදනය කළහ. 

 

ශ්‍රී ලංකා නායක සුහිරු ඇන්තනී 

 

කටාර් කණ්ඩායමේ කළමනාකරු 

 

ඉන්දීය නායක දීපක් පුනීයා 

 

කසකස්තාන නායක මගෝමදෙව් 

 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

නායකයෝ මාධ්‍ය හමුවෙන් නැගිට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.