(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සෙනසුරාදා (4) සමත් විය. අවසන් මහ තරගයේදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව ලකුණු 58-26 ක පහසු ජයක් වාර්තා කරමින් ත්‍රිත්ව ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.
ත්‍රිත්ව විදුහල ජනාධිපති කුසලාන රග්බි ශූරතාව දිනාගත් සිවුවැනි අවස්ථාව මෙය වන අතර මෙවර ඔවුන් ජනාධිපති කුසලානට හිමිකම් කීවේ වසර 15 කට පසුවය. මින් පෙර 1987, 1993 සහ 2011 යන වසරවලදීද ත්‍රිත්ව විදුහල ජනාධිපති කුසලාන තමන් සතුකරගෙන තිබිණ.
ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය යටතේ පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරගය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී රාජකීය විදුහල් කණ්ඩායම දසිස් පතිරණ විසින්ද, ත්‍රිත්ව විදුහල් කණ්ඩායම ශාන් අල්තාෆ් විසින්ද මෙහෙයවනු ලැබූහ. තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 27-12 ක් ලෙස පෙරමුණ ගත්තේද ත්‍රිත්ව විදුහලය.
පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 4 ක් මගින් ලකුණු ලබාගත් ත්‍රිත්ව විදුහල දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් තවත් ලකුණු 31 ක් සිය ලකුණු මල්ලට එක්කර ගත්තේය. පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස්කළ රාජයකීය විදුහල, දෙවැනි අර්ධයේදී ලකුණු 14 ක් රැස්කළේ ගෝල දිනුම් 2 ක් මගිනි.
එහිදී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමග ත්‍රිත්ව විදුහල ලබාගත් ලකුණු 58 න් ලකුණු 32 ක් රැස්කළ ෆුල් බැක් ක්‍රීඩක ශාන් අල්තාෆ් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. එය ජනාධිපති කුසලාන රග්බි තරගාවලියක අවසන් මහ තරගයකදී තනි ක්‍රීඩකයකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද එය වාර්තා අතරට එක් විය. ත්‍රිත්ව විදුහලේ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක උදාන් විජේකෝන් අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 49-29 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කරමින් ත්‍රිත්ව විදුහල අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර රාජකීය විදුහල අවසන් තරගයට පිවිසියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 39-19 ක් ලෙස කොළඹ ඉසිපතන විදුහල පරාජය කරමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.