Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඩී.එස්. සේනානායක විදුහලෙනුත් විරෝධතාවක්

ඩී.එස්. සේනානායක විදුහලෙනුත් විරෝධතාවක්

editorial - 2023 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශෘනුක අරවින්ද) 

අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මරදාන සහිරා විදුහලට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී තම කණ්ඩායම පරාජයට පත්වීම සඳහා දුර්වල විනිසුරු තීරණ බලපෑ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය වෙත ලිපියක් යොමු කිරීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහල පියවර ගෙන තිබේ. 

මින් පෙර අන්තර් පාසල් රග්බී ලීගයේ පළමු කොටස යටතේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී සිය කණ්ඩායමට අවාසි  වන අයුරින් ලබාදුන් බව කියන විනිසුරු තීරණ කිහිපයකට විරෝධය දක්වමින් කොළඹ ඉසිපතන විදුහලද ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය වෙත ලිපියක් යොමු කළේය. 

අදාල අර්ධ අවසන් පූර්ව තරගයේදී මතභේදයට තුඩුදුන් විනිසුරු තීරණ 3 ක් සිය කණ්ඩායමේ පරාජයට බලපෑ ආකාරය ඩී.එස්. සේනානායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති එල්.එස්.කේ. වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය වෙත යවන ලද ලිපියේ විස්තරාත්මකව සඳහන් වේ. 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපතිවරයා වෙත යවා ඇති එම ලිපියේ පිටපත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා රග්බි සංගමය වෙත යැවීමටද ඩී.එස්. සේනානායක විදුහල කටයුතු කර තිබේ. 

තරගයේ 17 වැනි විනාඩියේදී ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ හිසට පා පහරක් එල්ල කළ බවට චෝදනා කරමින් ඩී.එස්. කණ්ඩායමේ ක්‍රීඩකයකු රතු කාඩ් පතක් පෙන්වමින් තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා පියවර ගත්තද, කිසිදු වීඩියෝ දර්ශනයක එවැන්නක් සඳහන් වී නොමැති බව මෙම ලිපියේ සඳහන් වේ. 

සහිරා ක්‍රීඩකයකු උත්සාහක දිනුමක් ලබාගැනීමට යෑමෙදී සීමා ඉර පසුකරනාවත් සමගම ඔහු අතින් පන්දුවට ගිළිහී යන බව වීඩියෝ දර්ශනවල සඳහන් වී ඇති නමුත් එය උත්සාහක දිනුමක් බවට සනාථ කරමින් සහිරා විදුහල ලකුණු 5 ක් ලබාගැනීමට අවස්ථාව උදා කිරීමද පැති විනිසුරු සහ ප්‍රධන විනිසුරු අතින් සිදුවූ වරදක් බව ලිපියේ සඳහන්ව තිබේ. 

ලිපියේ සඳහන්ව ඇති තෙවැනි සිදුවීම වන්නේ දෙවැනි අර්ධය ආරම්භයේදී ඩී.එස්. ක්‍රීඩකයකුට එල්ල කළ නීති විරෝධී වෙට්ටුවක් වෙනුවෙන් ඊට අදාල සහිරා ක්‍රීඩකයාට කිසිඳු කාඩ්පත් නොපෙන්වා ඩී.එස්. විදුහලට දඬුවම් පහරක් පමණක් පිරිනැමීමට විනිසුරුවරයා කටයුතු කිරීමය. 

මෙම සිදුවීම් 3 සිය කණ්ඩායමේ පරාජයට බෙහෙවින්ම බලපෑ බව ලිපිය ඔස්සේ අවධාරණය කරන ඩී.එස්. සේනානායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා, එවැනි සිදුවීම් යළි සිදුනොවීම සඳහා ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටියි. 


අදහස් (0)

ඩී.එස්. සේනානායක විදුහලෙනුත් විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.