Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ජාතික සත් සාමාජික රග්බි පිලට මහනුවරින් 6 ක්

ජාතික සත් සාමාජික රග්බි පිලට මහනුවරින් 6 ක්

editorial - 2022 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තෝරාගෙන ඇති ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතයට මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෝ 6 දෙනෙක් ඇතුළත්ව සිටිති. කණ්ඩායමේ නායකත්වය සඳහා මහනුවර ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර පත්කර තිබේ.  

ඉරිදා (24 වැනිදා) කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති තේරීම් තරගාවලියේදී ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් සමන්විත මෙම සංචිතය තෝරාගනු ලැබ ඇති අතර මේ වන විට එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යවා තිබේ. ඊට අමතරව තෝරාගන්නා ලද අතිරේක ක්‍රීඩකයන්ගේ ලයිස්තුවට 8 දෙනෙක් ඇතුළත් වෙති.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වේ. ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 10 වැනිදා සිට 25 වැනිදා දක්වා චීනයේ හංජෝ නුවරදීය.

ශ්‍රීනාත් සූරියබණ්ඩාර, තරින්ද රත්වත්තේ, නයිජල් රත්වත්තේ, ධනුෂ් දයාන්, කවිඳු පෙරේරා සහ බුද්ධිම පියරත්න ජාතික කණ්ඩායමට ඇතුළත්ව සිටින මහනුවර ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ වෙති. ඔවුන්ට අමතරව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයෙන් සහ නාවික හමුදාවෙන් ක්‍රීඩකයන් දෙදෙනා බැගින්ද, ගුවන් සහ යුද හමුදා කණ්ඩායම්වලින් එක් ක්‍රීඩකයා බැගින්ද ජාතික කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ප්‍රධාන සංචිතයට අමතරව තේරීම් තරගාවලියේදී අතිරේක ක්‍රීඩකයන් 8 දෙනෙක්ද තෝරාගෙන ඇති අතර ඊට මහනුවර, හැව්ලොක් සහ සී.එච්. ක්‍රීඩා සමාජවලින් ක්‍රීඩකයන් දෙදෙනකු බැගින්ද, ගුවන් හමුදාවෙන් සහ පොලිසියෙන් ක්‍රීඩකයකු බැගින්ද ඇතුළත්ව සිටිති.
 
ඉකුත් දෙසැම්බර් මාසයේදී නම් කර තිබූ ක්‍රීඩකයන් 56 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් මෙම තේරීම් තරගාවලිය සඳහා යොදාගත් අතර එහිදී ඔවුන් කණ්ඩායම් 4 ක් යටතේ තරග වැදිණ. තේරීම් තරගාවලියේදී ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වය සහ ෆාසිල් මරීජාගේ පුහුණුකාරීත්වය යටතේ මහනුවර ක්‍රීඩා සමාජය තනිව තරග වැදී තිබේ.

හැව්ලොක් සහ පොලිස් ක්‍රීඩා සමාජ ඒකාබද්ධ කණ්ඩායමක් ලෙසත්, සී.එච්. සහ සී.ආර් ක්‍රීඩා සමාජ ඒකාබද්ධ කණ්ඩායමක් ලෙසත්, ගුවන්, නාවික සහ යුද හමුදා එකාබද්ධ කණ්ඩායමක් ලෙසත් එහිදී තරග වැදී තිබේ. සනත් මාර්ටිස්, නිල්ෆර් ඊබ්‍රහීම් සහ ශම්ලි නාවාස් පිළිවෙලින් එම කණ්ඩායම් 3 හි පුහුණුකරුවන් ලෙස කටයුතු කර ඇත.


ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය
ශ්‍රීනාත් සූරියබණ්ඩාර, තරින්ද රත්වත්තේ, නයිජල් රත්වත්තේ, ධනුෂ් දායාන්, කවිඳු පෙරේරා, බුද්ධිම පියරත්න (මහනුවර ක්‍රීඩා සමාජය), මිතුන් හපුගොඩ, රීසා රෆයිඩීන්, (සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය), අදීෂ වීරතුංග, චතුර සෙනෙවිරත්න (නාවික හමුදාව), අංජුල හෙට්ටිආරච්චි (ගුවන් හමුදාව) සහ සුදර්ශන දික්කුඹුර (යුද හමුදාව)

අතිරේක ක්‍රීඩකයෝ
දිලුක්ෂ දංගේ, හේෂාන් ජැන්සන් (මහනුවර ක්‍රීඩා සමාජය), රමේෂ් ප්‍රනාන්දු, ලසිඳු ඉෂාන් (හැව්ලොක් ක්‍රීඩා සමාජය), සුදම් සූරියආරච්චි, අවිශ්ක ලී (සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය), ඔවින් හෙට්ටිආරච්චි (ගුවන් හමුදාව) සහ ඉරෝෂන් සිල්වා (පොලිසිය)

 


අදහස් (0)

ජාතික සත් සාමාජික රග්බි පිලට මහනුවරින් 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.