Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අපරාජිත ඉසිපතනයට රාජකීය ජයක්
ඩයලොග් පාසල් රග්බි

අපරාජිත ඉසිපතනයට රාජකීය ජයක්

editorial - 2022 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලිගයේ පළමු කොටසේ ශූරතාව දිනාගැනීමට තරගාවලිය පුරා අපරාජිතව සිටි කොළඹ ඉසිපතන විදුහල අද (14 වැනිදා) සමත් විය. සුපිරි වටය යටතේ මුහුණදුන් අවසන් තරගයේදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව ලකුණු 21-15 ක ජයක් වාර්තා කරමින් ඉසිපතන විදුහල මෙවර ශූරතාවට හිමිකම් කීවේය.  

2020 සහ 2021 යන වසරවලදී කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් රග්බි ලිගය නොපැවැත්වුණ අතර ඉන් පෙර වසර 3 දීම (2017, 2018 සහ 2019) එම තරගාවලියේ ශූරයන් ලෙස රාජකීයයෝ විදුහල කිරුළු දරා සිටියහ. ඉසිපතන ක්‍රීඩකයන් අවසන් වට පාසල් රග්බි ලිගය ජය ගෙන තිබුණේ 2016 වසරේදීය. ඉසිපතනය පාසල් රග්බි ලිගය ජයගත් 16 වැනි අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය.

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 10-06 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීය විදුහල සමත් විය. එහිදී රාජකීයයන් ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් සමගින් ලකුණු ලබාගත් අතර ඉසිපතන ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ දඬුවම් පහර 2 ක් සමගිනි. එහිදී එක් දඬුවම් පහරක් ඉසිපතනයෙන් ගිළිහී නොයන්නට ලකුණු තත්ත්වය 10-09 ක් ලෙස පළමු අර්ධය නිමාවීමටද ඉඩ කඩ තිබිණ.

රාජකීය විදුහලට සාර්ථක ආරම්භයක් ලබාදුන් පසිඳු හේෂාන් 12 වැනි විනාඩියේදී තරගයේ පළමු උත්සාහක දිනුම ලබාගත්තේය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් එය ගෝල දිනුමක් බවට පත්කළ නබීල් යහිය, ඉන් විනාඩි 4 කට පසුව (16 වැනි විනාඩියේදී) දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ දැමුවේය.
තරගයේ 20 වැනි විනාඩියේදී සිය කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට අසමත් වූ නමුත් 22 වැනි විනාඩියේදී එම වරද නිවැරදි කරගත් රිනේෂ් සිල්වා, ඉසිපතනය වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. පළමු අර්ධයේ අවසන් විනාඩියේදී එනම් 35 වැනි විනාඩියේදී ඉසිපතනයට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ මලිත් මිහිසර විසිනි.

රාජකීය විදුහලට වඩා ලකුණු 4 ක් පසුපසින් සිටිමින් දෙවැනි අර්ධය ආරම්භ කළ ඉසිපතන විදුහල, එහිදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වෙමින් ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු 15 ක් රැස්කළේය. පළමු අර්ධයේ 28 වැනි විනාඩියේදී අබ්දුල්ලා යූස්ෆ් රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්ව යෑම හේතුවෙන් එතැන් පටන් ක්‍රීඩකයන් 14 දෙනකුගෙන් තරග වැදුණ රාජකීය විදුහලට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ එක් උත්සාහක දිනුමක් පමණි.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 7 ක් ගතවන විට එනම් තරගයේ 42 වැනි විනාඩියේදී ඉසිපතනයට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු 10-09 ක් ලෙස කණ්ඩායම් දෙක අතර පැවැති පරතරය අඩු කිරීමට මලිත් මිහිසර සමත් විය. එහෙත් 55 වැනි විනාඩියේදී හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගැනීමට මලිත්ට නොහැකි වීම හේතුවෙන් රාජකීය විදුහල අභිබවා යෑමට තිබූ අවස්ථාවක් ඉසිපතනයෙන් ගිළිහී ගියේය.

කෙසේ වුවත් 60 වැනි විනාඩියේදී තරගයේ ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කළ නවීන් කණිෂ්ක ලකුණු 14-10 ක් ලෙස ඉසිපතන විදුහල ඉදිරියට ගෙන ගියේය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් මලිත් මිහිසර ලකුණු 16-10 ක් ලෙස කණ්ඩායම් දෙක අතර පරතරය තවත් වැඩි කළේය. එම උත්සාහක දිනුම ලබාගැනීමට පෙරාතුව 50 වැනි විනාඩියේදී රාජකීය විදුහලේ හංසක හිග්ගොඩද, 52 වැනි විනාඩියේදී ඉසිපතන විදුහලේ නිසංජ දුනිත්ද කහ කාඩ්පත් ලබා තාවකාලිකව පිටියෙන් ඉවත්ව ගියහ.

තරගය නිමා වීමට විනාඩි 7 ක් තිබියදී එනම් 63 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් ධනුජ සමරරත්න ලකුණු තත්ත්වය 16-15 ක් බවට පත්කරමින් රාජකීය විදුහලට ජයග්‍රහණය කෙරෙහි යම් බලාපොරොත්තුවක් ගෙන ආවේය. එහෙත් එහි ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට නබීල් යහිය අපොහොසත් වීම නිසා රාජකීයයන්ට ඉසිපතනය අභිබවා යෑමට නොහැකි විය.

තරගයේ අවසන් තත්ත්පර කිහිපයේදී (70 වැනි විනාඩියේදී) තවත් උත්සාහක දිනුමක් ලබාගැනීමට ඉසිපතන කණ්ඩායමේ උප නායක ප්‍රවීන් ස්ටෙෆාන් සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට මලිත් මිහිසර අසමත් විය. කෙසේ වුවත් තරගයේ අවසන් ප්‍රතිඵලයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවූ අතර නියමිත කාලය අවසන් වන විට ලකුණු 21-15 ක් ලෙස ඉසිපතන ක්‍රීඩකයෝ ජයග්‍රහණය තමන් සතුකර ගත්හ.

ඡායාරූප - කුෂාන් පතිරාජ

 


අදහස් (0)

අපරාජිත ඉසිපතනයට රාජකීය ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.