Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. පිටිය උණුසුම් වන ලකුණු

සී.ආර්. පිටිය උණුසුම් වන ලකුණු

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ තුන්වැනි සති අන්තයේ තරග නිමවත් සමගම ප්‍රසාද ලකුණු සටහනේ අපරාජිතව පෙරමුණ ගැනීමට නාවික හමුදා රග්බි කණ්ඩායම සමත්ව සිටි. සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 55-3 ක දැවැන්ත ජයක් ලබා නැවියන් පෙරමුණට පත්වූයේ දෙවැනි වටයෙන් පසුව පෙරමුණ අත්කරගත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය දෙවැනි තැනට ඇද දමමිනි.


කෙසේවෙතත් මේ වනවිට තරගාවලියේ අපරාජිතභාවය රැකගෙන සිටින හැව්ලොක්ස් පිලට දෙවැනි තැනට පත්වීමට සිදූවූයේ තුන්වැනි සති අන්තයේ දී සී.ආර්. ඇන්ඞ් එෆ්.සී කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 10-6 ක සියුම් ජයග්‍රහණයක් ලබාගැනීම හේතුවෙනි. දෙපිලම ලකුණු 17 බැගින් ලබා සිටින නමුත් ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන හිමිවන්නේ ලබාගන්නා උත්සාහක දිනුම්, ප්‍රතිවාදීන්ට පිරිනමන ලකුණු ඇතුළු තවත් බොහෝ කරුණු සැලකිල්ලට ගැනීමෙනි.


හෙට ඇරැඹෙන සිවුවැනි සති අන්තයේ දී සිය අපරාජිතභාවය තවදුරටත් රැකගැනීමේ අදිටනින් යුතුව හැව්ලොක්ස් පිල පිටියට පිවිසෙයි.


හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය හෙට පස්වරුවේ සී.එච්. ක්‍රීඩා සමාජය සමග හැව්ලොක්ස් පිටියේ දී සිවුවැනි සති අන්තයේ තරගයට මුහුණ දෙන අතර අනිද්දා පස්වරුවේ නාවික හමුදා පිල කොළඹ තුරඟ තරග පිටියේදී යුද හමුදා පිල සමග තරගයට මුහුණ දෙයි.

මෙතෙක් රැකගත් සිය අපරාජිතභාවය තවදුරටත් පවත්වාගෙන යාමේ අදිටනින් පසුවන හැව්ලොක්ස් සහ නාවික හමුදා පිල අතර ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන මෙවර සති අන්තයේදීද හුවමාරුවීමේ පෙරනිමිති පහළ වී තිබේ.


මේ සති අන්තයේ වඩාත් අවධානයට ලක්වනු ඇතැයි  සැළකෙන තරගය ලබන ඉරිදා සී.ආර්. පිල සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල අතර සී.ආර්.පිටියේදී පැවැත්වෙයි. ප්‍රසාද ලකුණු 10ක් ලබා සිවුවැනි තැන පසුවන ගුවන් හමුදා පිල දෙවැනි සතියේදී ප්‍රබල මහනුවර පිල අන්දමන්ද කරමින් විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත්වූ අතර  පසුගිය සතියේ දී සිය ජයග්‍රාහී මාවත තවදුරටත් පුලුල් කරමින් පොලිස් කණ්ඩායම ලකුණු 22--12කින් පරාජය කිරීමට සමත්විය.


ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය තවදුරටත් මහනුවර ක්‍රීඩා සමාජයට හිමිවී ඇත්තේ පසුගිය සතියේදී යුද හමුදා පිලට එරෙහිව ලකුණු 34--10ක ජයක් වාර්තා කිරීම හේතුවෙනි. ප්‍රසාද ලකුණු 13 ක් ලබා තුන්වැනි ස්ථානයේ පසුවන මහනුවර ක්‍රීඩකයන් අනිද්දා පස්වරුවේ ප්‍රසාද ලකුණු කිසිවක් නොලබා හත්වැනි තැන පසුවන පොලිස් ක්‍රීඩා සමාජයට සත්කාරකත්වය ලබාදෙන්නේ නිත්තවෙල ක්‍රීඩා පිටියේදීය.  


මේ වනවිටත් සිය ජයග්‍රාහී මාවත විවර කරගැනීමට බලවත් වෑයමක් දරමින් සිටින ප්‍රසාද ලකුණු 6ක් ලබා හයවැනි තැන සිටින සී.ආර්. පිල ඉරිදා තරගයේදී ගුවන් හමුදා පිලේ ආක්‍රමණයට මුහුණ දීමට සිදුවී ඇත්තේ ඒ බලාපොරොත්තුවත් පොදිබැඳ ගනිමිනි.  


අදහස් (0)

සී.ආර්. පිටිය උණුසුම් වන ලකුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.