Last Update  :  2025-09-18 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල චීනයට
ආසියානු සත් සාමාජික රග්බි

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල චීනයට

editorial - 2025 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

චීනයේ හැංසොව් විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (17 වැනිදා) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.  

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වලට අනුව ආසියාවේ හොඳම කණ්ඩායම් 12 සහභාගි වන මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර එහි දෙවැනි අදියර ඔක්තෝබර් මස 18 සහ 19 යන දිනවල කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය. 

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් සහ අතිරේක ක්‍රීඩකයන් තිදෙනකුගෙන් සමන්විත වන අතර එහි නායකත්වය ජාත්‍යන්තර තරගාවලි රැසකදී ශ්‍රී ලංකාව නියෝජන කර ඇති 31 හැවිරිදි විංග් ක්‍රීඩක කවිඳු පෙරේරාට හිමිව තිබේ. 

මහනුවර විද්‍යාර්ථ විදුහලේ ආදි සිසුවකු වන විංග් ක්‍රීඩක කවිඳු පෙරේරා, පසු කළෙක සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර මේ වන විට ඔහු මහනුවර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් සිටියි. කවිඳුට අමතරව දිනාල් ඒකනායක සහ ආකාෂ් මධුෂංකද සංචිතයේ සිටින ප්‍රවීන ක්‍රීඩකයන් වන අතර සමස්තයක් ලෙස ගත්කළ සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් බහුතරයක් යොවුන් ක්‍රීඩකයෝ වෙති. 

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතයක් නම් කර තිබූ අතර එම සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් අතරින් රවිඳු හෙට්ටිආරච්චි, ළහිරු තිලකරත්න, දේවින්ද රත්නායක, නිස්රාන් නිලාර්, හේෂාන් ජැන්සන්, දනුෂ් දංගේ සහ ශෂික ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ට අවසන් සංචිතයේ ස්ථාන හිමිවී නොමැත. 

ශම්ලි නවාස් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ පසුගිය දිනවල පුහුණුවීම්වල නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තුරඟ තරග පිටියේදී සිය අවසන් පුහුණු සැසියට සහභාගි විය. රජීව් පෙරේරා මහතාගේ මහතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකරු ලෙස කටයුතු කරයි. 

ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 13 දෙනාගෙන් 7 දෙනෙකුම ඉකුත් සති අන්තයේදී පැවැති වෙළෙඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගත් ලින්ක් නැචුරල් ප්‍රඩක්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ වෙති. එම තරගාවලියේ අනු ශූරතාව හිමිකරගත් පර්ල් බීච් පැරඩයිස් කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් දෙනෙක්ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිති. 

ශ්‍රී ලංකා සත් සමාජික රග්බි සංචිතය 
කවිඳු පෙරේරා (නායක), ගයාන් පෙරේරා, ජනිත් මාරසිංහ, ජනිඳු දිල්ෂාන්, දිනාල් ඒකනායක, ශාහිඩ් සුම්රි, ඒරන් කොරෙයා, ආකාෂ් මධුෂංක, මොහොමඩ් රිෆාන්, සුරංග තෙන්කෝන්, ජයතු රාජරත්න, නාලන් දේශප්‍රිය සහ චතුර සොයිසා 

අතිරේක ක්‍රීඩකයෝ 
විෂේන්ක සිල්වා, යෙහාන් බුලත්සිංහල සහ කළණ චමුදිත 


අදහස් (0)

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල චීනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.