Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා රග්බි පිල 14 වැනි තැනට
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ශ්‍රී ලංකා රග්බි පිල 14 වැනි තැනට

editorial - 2022 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්වේ 13 වැනි සහ 14 වැනි ස්ථාන වෙනුවෙන් ඊයේ (31 වැනිදා) රාත්‍රියේ පැවැති තරගයේදී තියුණු සටනකින් අනතුරුව ජැමෙයිකාව හමුවේ ලකුණු 26-24 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එම ඉසව්වේ 14 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.

පළමු අර්ධය නිමාවට පත්වන විට දෙපිලම ලකුණු 12 බැගින් ලබා සම තත්ත්වයේ පසුවූහ. එහිදී කණ්ඩායම් දෙකම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් බැගින් ලබාගනිමින් ලකුණු රැස්කළහ. දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක් වාර්තා කිරීමට ජැමෙයිකානු ක්‍රීඩකයන් සමත් වෙද්දී, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මිතුන් හපුගොඩ, රවිඳු හෙට්ටිආරච්චි, නයිජල් රත්වත්තේ සහ බුද්ධිම නානායක්කාර උත්සාහක දිනුම් ලබාගත් අතර මිතුන් සහ නයිජල් එක් ප්‍රවර්ථනය බැගින් සාර්ථක කරගත්හ. උගන්ඩාව වෙනුවෙන් කැටන් බ්‍රවුන් උත්සාහක දිනුම් 2 ක්ද, බ්‍රයන් ස්මිත් සහ ඔෂේන් එඩී එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත් අතර ඉන් ප්‍රවර්ථන 3 ක් සාර්ථක කරගැනීමට රෝයි ස්මිත් සමත් විය.

‘ඒ’ කාණ්ඩට යටතේ තරග වැදුණ ශ්‍රි ලංකාව මූලික වටයේ සහභාගි වූ තරගවලදී නවසීලන්තය හමුවේ  හමුවේ ලකුණු 63-05 ක් ලෙසද, එංගලන්තය හමුවේ ලකුණු 47-19 ක් ලෙසද, සැමෝවා රාජ්‍යය හමුවේ ලකුණු 44-00 ක් ලෙසද පරාජයට පත්විය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට 9 වැනි ස්ථානයත්, 16 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.

ඉන් අනතුරුව උගන්ඩාව හමුවේ ලකුණු 38-19 ක් ලෙස පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවට 13 වැනි ස්ථානයත්, 16 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. එහිදී සැමෝවා රාජ්‍යයට එරෙහිව ලකුණු 27-14 ක ජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම ඉසව්වේ 13 වැනි සහ 14 වැනි ස්ථාන වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලබාගත්තේය.

අවසන් මහ තරගයේදී ෆීජි කණ්ඩායමට එරෙහිව ලකුණු 31-07 ක ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකාව පිරිමි සත් සාමාජික රග්බි ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය. එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිවූයේ ඕස්ට්‍රේලියාව ලකුණු 22-12 කින් පරාජය කළ නවසීලන්ත කණ්ඩායමටය.


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි පිල 14 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.