Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයට
ආසියානු සත් සාමාජික තරගාවලිය

ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයට

editorial - 2025 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් චීනයේ හැංෂූ නුවරදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද (20 වැනිදා) සමත් විය. ඒ මූලික වටය අවසානයේ කාණ්ඩ තුනේ දෙවැනි ස්ථානවලට පත්වූ කණ්ඩායම් අතරින් ඉහළම දස්කම් දැක්වූ කණ්ඩායම ලෙසිනි.

එහිදී ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ මැලේසියාවත්, ‘සී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ දකුණු කොරියාවත් පසුපසට ඇද දමමින් ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමිකර ගත්තේ මූලික වටය පුරා ලැබූ ලකුණු සහ ලබාදුන් ලකුණුවල පරතරය අනුවය.

 ‘ඒ’ කාණ්‍ඩයේ පළමු ස්ථානය හිමිකරගත් හොං කොං රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාව හෙට (21 වැනිදා) පළමු අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා‍ වේලාවෙන් පෙරවරු 11.10 ට තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. එම තරගයෙන් ශ්‍රී ලංකාව ජය ලැබුවහොත් ඔවුන්ට පස්වරු 3.56 ට පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට හැකි වනු ඇත. ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වූ ජපානය සහ ‘සී’ කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වූ චීනය අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ පෙරවරු 11.32 ටය.

අද පැවැති මූලික වටයේ තරගවලදී ජපානය හමුවේ ලකුණු 38-07 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව, ඉන් අනතුරුව තායිලන්තයට එරෙහිව ලකුණු 24-07 ක ජයක්ද, සිංගප්පූරුවට එරෙහිව ලකුණු 34-07 ක ජයක්ද වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව මූලික වටය නිමාවට පත්වන විට ලකුණු 7 කට හිමිකම් කී ශ්‍රී ලංකාවේ ලැබූ ලකුණු සහ ලබාදුන් ලකුණුවල පරතරය ලකුණු 13 ක් ලෙස සටහන් විය.

‘ඒ’, ‘බී’ සහ ‘සී’ යන කාණ්ඩ තුනේ පළමු ස්ථාන හිමිකරගත් හොං කොං රාජ්‍යය, ජපානය සහ චීනය ලකුණු 9 කට බැගින් හිමිකම් කීවේ පිළිවෙලින් ඔවුන්ගේ ලකුණු පරතරයන් 140, 120 ක් සහ 79 ක් ලෙස රඳවා ගනිමිනි. ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා වූ මැලේසියාවේ (ලකුණු 7) ලකුණු පරතරතය -44 ක් වූ අතර ‘සී’ කාණ්ඩයේ දෙවැනියා වූ දකුණු කොරියාවේ (ලකුණු 6) ලකුණු පරතරය 10 ක් විය.

ඒ අනුව ශ්‍රී ලංකාවට කාන්ඩ තුනේ දෙවැනි ස්ථාන හිමිකරගත් කණ්ඩායම් අතරින් ඉහළම දස්කම් දැක්වූ කණ්ඩායම ලෙස අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව උදාවිය. කවිඳු පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් හෙට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්වුව හොත් ඔවුන්ට තරගාවලියේ තෙවැනි හෝ සිවුවැනි ස්ථාන වෙනුවෙන් දෙවැනි අවසන් පූර්ව තරගයෙන් පරාජය වන කණ්ඩායමට එරෙහිව පස්වරු 3.12 ට තරග වැදීමට සිදුවනු ඇත. 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.