Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පතුලටම වැටෙති
ආසියානු සත් සාමාජික තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පතුලටම වැටෙති

editorial - 2025 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් චීනයේ හැංෂූ නුවරදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ පළමු අදියරේ මූලික ව‍ටය යටතේ අද (20 වැනිදා) පැවැති ‘ඩී’ කාණ්ඩයේ තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 41-00 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 24-00 ක් ලෙස පෙරමුණ ගෙන සිටි එක්සත් අරාබි එමීර් ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 17 ක් ලබාගැනීමට සමත් වූයේ තරගය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදෙමිනි.

‍පළමු විනාඩියේදීම ස්ටෙෆ්නි අමිනා ලබාගත් උත්සාහක දිනුමත් සමග එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායම ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. ඉන් අනතුරුව 3 වැනි සහ 5 වැනි විනාඩිවලදී ජෝජියා බාබර් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළ අතර ඉන් පළමු වැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට ඇලෙක්සැන්ඩ්‍රා කුක් සමත් වූවාය.

පළමු අර්ධයේ අවසන් විනාඩියේදී මැඩිසන් මෙලීෂ් ලබාගත් උත්සාහක දිනුමත්, ඇලෙක්සැන්ඩ්‍රා කුක් සාර්ථක කරගත් එහි ප්‍රවර්ථනයත් සමග එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායමේ ලකුණු 24 ක් දක්වා ඉහළ ගියේය. ඉන් නොනැවතුන මැඩිසන් මෙලීෂ්, දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමග (8 වැනි විනාඩියේදී) තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූවාය.

තරගය නිමාවීමට විනාඩියක් ඉතිරිව තිබියදී එනම් 13 වැනි විනාඩියේදී සිය තෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කිරීමට ජෝජියා බාබර් සමත් වූ අතර අවසන් විනාඩියේදී ජෙසිකා හැරිස්ද එක්සත් අරාබි එමීර් පිල වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. ඉන් පළමු වැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් ඇලෙක්සැන්ඩ්‍රා කුක් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 41 ක් බවට පත් කළාය.

මෙම පරාජයත් සමග මූළික වටය යටතේ සහභාගි වූ තරග 3 දීම ශ්‍රී ලංකාව පරාජයට පත්විය. පළමු තරගයේදී සත්කාරක චීනය හමුවේ ලකුණු 44-00 ක දැවැන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, දෙවැනි තරග‍යේදී මැලේසියාව හමුවේ පරාජයට පත්වූයේ ලකුණු 24-14 ක් ලෙසිනි. ඒ අනුව ශ්‍රී ලංකාව ක්‍රීඩිකාවන්ට ‘ඩී’ කාණ්ඩයේ අන්තිමයා ලෙස මූලික වටය අවසන් කිරීමට සිදු විය.

හෙට (21 වැනිදා) පැවැත්වෙන ශ්‍රේණිගත කිරීමේ තරගවලදී ශ්‍රී ලංකාවට පළමුවෙන්ම ‘ඊ’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ ඉන්දුනීසියාවට එරෙහිව තරගාවලියේ 9 වැනි ස්ථානයත් 12 වැනි ස්ථානයත් අතර ස්ථානයත් සඳහා තරග වැදීමට සිදුවනු ඇත. එම තරගයෙන් ජය ලැබුවහොත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට 9 වැනි හෝ 10 වැනි ස්ථාන වෙනුවෙන් තරග වැදීමට අවස්ථාව උදාවන අතර පරාජය වුවහොත් 11 වැනි හෝ 12 වැනි ස්ථාන වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 7.52 ට ආරම්භ වීමට නියමිතය. එම තරගය ජය ගතහොත් ශ්‍රී ලංකාව සහභාගි වන තරගය පස්වරු 12.16 ටද, පරාජය වුවහොත් සහභාගි වන තරගය පෙරවරු 11.54 ටද පිලිපීනයට ‍හෝ සිංගප්පූරුවට එරෙහිව පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පතුලටම වැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.