Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වසර 18 කට පසු මැලේසියාවට එරෙහිව ජයක් සොයමින් ශ්‍රී ලංකාව තරග බිමේ

වසර 18 කට පසු මැලේසියාවට එරෙහිව ජයක් සොයමින් ශ්‍රී ලංකාව තරග බිමේ

editorial - 2025 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

එදා මෙදා තුර රග්බි ඉතිහාසයේ මැලේසියාවට එරෙහිව 61.11% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගෙන සිටින ශ්‍රී ලංකාව, 2027 ලෝක කුසලාන රග්බි ගමන් මගේ පළමු කඩයිම තරණය කිරීම සඳහා වසර 18 කට පසුව මැලේසියාව පරාජය කිරීමේ අරමුණින් හෙට (19 වැනිදා) පස්වරු 6.30 ට කොළඹ තුරඟ තරග පිටියට අවතීර්ණ වනු ඇත. 

1972 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකා සහ මැලේසියාව අතර රග්බි තරග 18 ක් පවත්වා ඇති අතර ඉන් 11 ක් ජයගැනීමට ශ්‍රී ලංකාවත්, 7 ක් ජයගැනීමට මැලේසියාවත් සමත්ව ඇත. කෙසේ වුවත් අවසන් වරට මැලේසියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ 2007 වසරේදීය. ලකුණු 77-03 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත් එම තරගය 2007 ආසියානු රග්බි ශූරතාවලියේ තරගයකි. 

දෙපිල අතර පැවත්වා ඇති මෙම තරග 18 න් අවසන් වසර 25 තුළ එනම් 2000 වසරේ සිට 2025 වසර දක්වාම පවත්වා ඇත්තේ තරග 6 ක් පමණි. ඉන් තරග 4 ක් (2001, 2016, 2017 සහ 2019 යන වසරවලදී) ජයගැනීමට මැලේසියාවත්, තරග 2 ක් (2002 සහ 2007 යන වසරවලදී) ජයගැනීමට ශ්‍රී ලංකාවත් සමත්ව තිබේ. 

අවසර වරට දෙපිල අතර පැවැති තරග 6 න් 5 ක්ම ආසියානු රග්බි ශූරතාවලීන්හිදී පැවැති තරග වන අතර 2019 වසරේදී පැවැති, අවසන් වරට ශ්‍රී ලංකාව සහ මැලේසියාව මුහුණට මුහුණ ගැටුණු තරගය පමණක් සුහද තරගයක් ලෙස සටහන් වේ. අතිශය තියුණු මුහුණුවරක් ගෙන ඇති එම තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට මැලේසියාව සමත්ව ඇත්තේ ලකුණු 31-26 ක් ලෙසිනි. 

හෙට පැවැත්වෙන තීර්ණාත්මක තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ඔවුන්ට මෙම වසරේ පැවැත්වෙන ආසියානු රග්බි ශූරතාවලියේදී ප්‍රිමියම් කාණ්ඩය යටතේ තරග වැදීමට අවස්ථාව උදාවනු ඇත. මේ වන හොං කොං, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය සහ කොරියාව එම කාණ්ඩයට ඇතුළත්ව සිටියි. 

ප්‍රිමියම් කාණ්ඩයට ඇතුළත් වීම සඳහා මැලේසියාවට එරෙහිව මෙම තරගයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වූයේ ඉකුත් වසරේදී (2024) පැවැති ආසියානු රග්බි ශූරතාවලියේ පළමු කාණ්ඩයේ ශූරතාව දිනාගැනීම හේතුවෙනි. එහි අවසන් පූර්ව වටයේදී ලකුණු 45-10 ක් ලෙස ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාව, අවසන් මහ තරගයේදී 45-07 ක් ලෙස කසකස්තානය පරාජය කිරීමට සමත් විය. 

එහෙත් මැලේසියාවට මෙම තරගයට ක්‍රීඩා කිරීමට සිදුවූයේ ඉකුත් වසරේ පැවැති ආසියානු රග්බි ශූරතාවලියේ ප්‍රිමියම් කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වීම හේතුවනි. එහිදී හොං කොං හමුවේ ලකුණු 70-06 ක් ලෙසද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ලකුණු 62-19 ක් ලෙසද, කොරියාව හමුවේ ලකුණු 55-05 ක් ලෙසද මැලේසියාව පරාජයට පත් විය. 

ආසියානු රග්බි ශූරතාවලියේදී ප්‍රිමියම් කාණ්ඩයේ තරග එළබෙන ජුනි සහ ජූලි මාසවලදී පැවැත්වෙන අතර එහි ශූරයන් බවට පත්වුවහොත් ශ්‍රී ලංකාව ඍජුවම රග්බි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇත. එය ශ්‍රී ලංකාවේ දෙවැනි කඩයිම ලෙස හැඳින්විය හැකිය. එහෙත් එහි අනු ශූරයන් බවට පත්වුවහොත් ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් කඩයිම් දෙකක් තරණය කිරීමට සිදුවනු ඇත. 

ආසියානු අනු ශූරයන් බවට පත්වුවහොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා තවත් සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වී ඉන් ජය ලැබීමට සිදුවනු ඇත. එහෙත් එම සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව අප්‍රිකානු රග්බි ශූරතාවලියේ අනු ශූරයන්ට එරෙහිව තරගවැදී ඔවුන් පරාජය කළ යුතුය. 

එය ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ගමන් මගේදී හමුවන තෙවැනි කඩයිම වන අතර ඉන් ජය ලැබීමට හැකි වුවහොත් පමණක් ඔවුන්ට අවසන් කඩයිමට ලඟා වීමට අවස්ථාව උදාවනු ඇත. අවසන් කඩයිම වන්නේ ඉහත කී සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියයි. 

දකුණු ඇමරිකානු රග්බි ශූරතාවලියේ තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම සහ යුරෝපා රග්බි තරගාවලියේ 5 වැනි ස්ථානයට පත්වන කණ්ඩායම මෙන්ම දකුණු ඇමරිකානු රග්බි ශූරතාවලියේ අනු ශූරයන් සහ ශාන්තිකර කළාපීය රග්බි තරගාවලියේ සිවුවැනි ස්ථානයට පත්වන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පරාජිතයන් එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇත. 

ලීග් ක්‍රමයට අනුව මෙම වසර අග භාගයේදී පැවැත්වෙන ඉහත කී සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයන් බවට පත්වුවහොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම බවට පත්වීමට අවස්ථාව උදාවනු ඇත. 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේදී දැක්වූ දස්කම් අනුව මේ වන විටත් රටවල් 12 ක් 2027 රග්බි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටියි. 


අදහස් (0)

වසර 18 කට පසු මැලේසියාවට එරෙහිව ජයක් සොයමින් ශ්‍රී ලංකාව තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.