Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ආසියානු රග්බි තරගාවලි දෙකක විනිසුරු කලමණාකරු ඩිල්රෝයි

ආසියානු රග්බි තරගාවලි දෙකක විනිසුරු කලමණාකරු ඩිල්රෝයි

editorial - 2025 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් චීනයේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලි දෙකක විනිසුරුවන්ගේ කලමණාකරු ලෙස ශ්‍රී ලංකාවේ ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා නම් කර තිබේ. ඉන් එක් තරගාවලියක් ඉකුත් ඉරිදා (14 වැනිදා) හොහොට් නුවරදී නිමාවට පත්වූ අතර සෙසු තරගාවලිය එළබෙන සෙනසුරාදා (20 වැනිදා) සහ ඉරිදා (21 වැනිදා) හැංසොව් නුවරදී පැවැත්වීමට නියමිතය. 

මේ වන විට අසියානු රග්බි සංගමයේ තරග නිලධාරින් ප්‍රවර්ධනය කිරීමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන ඩිල්රෝයි මහතා, ශ්‍රී ලංකාවෙන් බිහිවූ වසර 20 ක පමණ අත්දැකීම් සහිත දක්ෂ ජාත්‍යන්තර රග්බි විනිසුරුවරයෙකි. 1980 දශකයේ මැද භාගයේ ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කළ ඔහු, පසු කළෙක පුහුණුකරුවකු ලෙසද කටයුතු කළේය. 

ඉකුත් සෙනසුරාදා (13 වැනිදා) සහ ඉරිදා (14 වැනිදා) හොහොට් නුවරදී පැවැති වයස අවුරුදු 18 න් පහළ පිරිමි සහ කාන්තා සත් සාමාජික රග්බි ශූරතාවලියේ විනිසුරු කලමණාකරු ලෙස කටයුතු කළ ඩිල්රෝයි මහතා, මේ වන විට එළබෙන සෙනසුරාදා (20 වැනිදා) සහ ඉරිදා (21 වැනිදා) හැංසොව් නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු පිරිමි සහ කාන්තා සත් සාමාජික රග්බි ශූරතාවලියේ විනිසුරු කලමණාකරු ලෙසද කටයුතු කිරීමට සූදානමින් සිටියි. 

ආසියානු පිරිමි සහ කාන්තා සත් සාමාජික රග්බි ශූරතාවලිය සඳහා හොං කොං රාජ්‍යයෙන් විනිසුරුවන් දෙදෙනෙක් සහ එක් විනිසුරුවරියක් සහභාගි වෙති. ඔවුන්ට අමතරව සවුදි අරාබියෙන්, චීනයෙන්, තායිලන්තයෙන්, ජපානයෙන් සහ චීන තායිපේ රාජ්‍යයෙන් එක් විනිසුරුවරයා බැගින්ද, ජපානයෙන් සහ සිංගප්පූරුවෙන් එක් විනිසුරුවරිය බැගින්ද සහභාගි වීමට නියමතිය. 

තරගාවලියේ විනිසුරු කලමණාකරු ලෙස ඩිල්රෝයි මහතා කටයුතු කරන අතර ඔහුගේ සහායක කණ්ඩායම ලෙස ජපානයේ ටකූ ඔට්සුකී, හොං කොංහි මැට් රොඩ්න් සහ සිංගප්පූරුවේ ජස්ට් වැන්ග් යන මහත්වරු කටයුතු කරති. 

“හොහොට් සහ හැංසොව් යන නගර දෙකකේදීම ලෝක මට්ටමේ රග්බි දක්ෂතා පමණක් නොව ආසියාවේ හොඳම විනිසුරුවන්ගේ මාවතද ප්‍රදර්ශනය වේවි. මෙම නිලධාරීන් අපගේ කලාපයේ ශක්තිය, විවිධත්වය සහ වෘත්තීයභාවය නියෝජනය කරනවා. ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ සාර්ථකත්වය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරාවි කියා මම විශ්වාස කරනවා.” යැයි සිය විනිසුරු කණ්ඩායම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩිල්රෝයි මහතා පැවසීය. 

 


අදහස් (0)

ආසියානු රග්බි තරගාවලි දෙකක විනිසුරු කලමණාකරු ඩිල්රෝයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.