Last Update  :  2025-05-17 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සහිරා - ත්‍රිත්ව අවසන් පූර්ව තරගය හෙට
ජනාධිපති කුසලාන රග්බි

සහිරා - ත්‍රිත්ව අවසන් පූර්ව තරගය හෙට

editorial - 2025 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මරදාන සහිරා විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර හෙට (9 වැනිදා) පස්වරු 4.15 කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. 

මූලික වටයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 16-11 ක තියුණු ජයක් ලැබූ සහිරා විදුහල, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල හදිසියේම තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන් අර්ධ අවසන් පූර්ව වටයේදී නිතරග ජයක් ලබමිනි. 

මූලික වටයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 62-05 ක දැවැන්ත ජයක් වාර්තා කළ ත්‍රිත්ව විදුහල, අර්ධ අවසන් පූර්ව වටයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 24-15 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය. 

මෙවර තරගාවලියේ මෙතෙක් ආ ගමන් මඟ දෙස හැරී බලන කළ සහිරා විදුහලට වඩා ත්‍රිත්ව විදුහල තරමක් ඉදිරියෙන් සිටියි. එහෙත් මෙම තරගය කොළඹදී පැවැත්වීම හේතුවෙන් වැඩි ප්‍රේක්ෂකයන් පිරිසකගේ සහාය සහිරා විදුහලට ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. 

මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම එළබෙන 18 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. එහිදී ඔවුන් කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජය ලබන කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත. 


අදහස් (0)

සහිරා - ත්‍රිත්ව අවසන් පූර්ව තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.