Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.එච්. පිලට එරෙහිව මහනුවරට තියුණු ජයක්
අන්තර් සමාජ රග්බි

සී.එච්. පිලට එරෙහිව මහනුවරට තියුණු ජයක්

editorial - 2023 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය යටතේ ඉකුත් සෙනසුරාදා (21 වැනිදා) කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයෙන් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 27-25 ක තියුණු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 17-08 ක් ලෙස මහනුවර ක්‍රීඩකයෝ තරගයේ පෙරමුණ ගත්හ. දෙවැනි අර්ධය තුළ මහනුවර කණ්ඩායම ලකුණු 10 ක් ලබාගනිද්දී, සී.එච්. කණ්ඩායම ලකුණු 17 ක් ලබාගත් නමුත් පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව මහනුවර කණ්ඩායමට ලකුණු 2 ක තියුණු ජයක් හිමි විය.

පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් සමග ලකුණු රැස්කළ මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුමක් ලබාගනිමින් දඬවම් පහරක්ද සාර්ථක කරගත්හ. පළමු අර්ධයේදී උත්සාහක දිනුමකට සහ දඬුවම් පහර 3 කට සීමා වූ සී.එච්. කණ්ඩායමේ ලකුණු ලබාගැනීමට දෙවැනි අර්ධයේදී තවත් දඬුවම් පහරක් සහ ගෝල දිනුම් 2 ක් ඇතුළත් විය.

කවිඳු පෙරේරා 5 වැනි විනාඩියේදීද, උචිත් ජයසූරිය 37 වැනි විනාඩියේදීද, චතුර සොයිසා 74 වැනි විනාඩියේදීද මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් 2 ක ප්‍රවර්ථන තරින්ද රත්වත්තේ විසින්ද, එක් ප්‍රවර්ථනයක් නයිජල් රත්වත්තේ විසින්ද සාර්ථක කරගනු ලැබිණ. ඉන් නොනැවතුණ තරින්ද, 54 වැනි විනාඩියේදී සිය කණ්ඩායමට හිමිවු දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය.

සී.එච්. කණ්ඩායම වෙනුවෙන් යෝෂිත රාජපක්ෂ 62 වැනි සහ 78 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් දෙකක්ද, ඔවින් හෙට්ටිආච්චි 16 වැනි විනාඩියේදී එක් උත්සාහක දිනුමක්ද ලබාගත්හ. එම උත්සාහක දිනුම් 3 න් 2 ප්‍රවර්ථනයන් මෙන්ම 28 වැනි සහ 44 වැනි විනාඩිවලදී සිය කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 2 ක්ද සාර්ථක කර ගැනීමට හිරුෂ සම්පත් සමත් විය.

මෙම තරගයේදී සී.එච්. කණ්ඩායමේ අවන්ත ලී 71 වැනි විනාඩියේදී රතු පැහැති කාඩ් පතක් ලබා පිටියෙන් ඉවත්ව ගිය අතර මහනුවර කණ්ඩායමේ තිළිණ බණ්ඩාර 78 වැනි විනාඩියේ විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ් පතක් ලැබීය.  

 


අදහස් (0)

සී.එච්. පිලට එරෙහිව මහනුවරට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.