Last Update  :  2024-05-18 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ‘සෙරීනා’ නම් මව යළි ටෙනිස් පිටියට

‘සෙරීනා’ නම් මව යළි ටෙනිස් පිටියට

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දශක දෙකක් තරුණියක සේ අන්තර්ජාතික ටෙනිස් පිටිය දිග්විජය කළ මෑත කාලයේ ටෙනිස් රැජන අමෙරිකාවේ සෙරීනා විලියම්ස් මවක ලෙස නැවත ටෙනිස් කරළියට අවතීර්ණ වෙමින් සිටී. ඇය මේ මස 30 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර මුබාඩලා ලෝක ටෙනිස් ශූරතාවලියේ ප්‍රදර්ශනාත්මක තරගයකට එක්වන්නීය.

මේ තරගයේදී ඇගේ ප්‍රතිවාදිනිය බවට පත්වනු ඇත්තේ ලැට්වියා රාජ්‍යයේ ටෙනිස් ශූරියක වන ජෙලීනා ඔස්ටපෙන්කෝය.

“අබුඩාබියේදී නැවතත් ටෙනිස් පිටියට පා තැබීමට ලැබීම ගැන මට පුදුමාකාර සතුටක්. පසුගිය සැප්තැම්බරයේ මගේ දරු සිඟිත්තිය ඉපදුණාට පස්සේ පළමුවතාවට ටෙනිස් පිටියට පා තැබීම ඇත්තටම විශාල සතුටක්” යයි සෙරීනා විලියම්ස් කීවාය.

“මුබාඩලා ලෝක ටෙනිස් ශූරතාවලිය කියන්නේ පිරිමි ටෙනිස් තරග බිමේ තරගාවලියක්. 10 වැනි වතාවටත් මේ තරගාවලියට කාන්තාවක් හැටියට ක්‍රීඩා කිරීමට ලැබීම මට මහත් ගෞරවයක්.... අබුඩාබියේ ක්‍රීඩාලෝලීන් හමුවේ මගේ පරණ දස්කම් පෙන්වනතුරු මට ඉවසුමක් නෑ” යයි ඇය කීවේ සිනහමුසු මුවින් යුතුවය.

ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරග බිම විවෘත තරගාවලියක් බවට පත්වීමෙන් පසුව එයින්  ශූරතා 23 කටම හිමකම් කියමින් ටෙනිස් පිටියේ ආධිපත්‍ය පතුරුවාලූ මේ සුපිරි ක්‍රීඩිකාව සිය මාතෘත්වය වෙනුවෙන් මාස කිහිපයක්ම කැප කරමින් සියලු ක්‍රීඩා ක්‍රියාකාරකම්වලින් ඉවත්වී සිටියාය.

36 හැවිරිදි සෙරීනා මෙවර අබුඩාබියට යන්නේ ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත වසරේ පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියට එක්වීමට පෙර සිය දස්කම් මුවහත් කරගැනීමේ අභිලාෂයද ඇතිවය.

එහෙත් තවම ඇය ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියට එක්වන්නේදැයි යන්න තහවුරු කර නැත. එසේ වුවත් නිතරම ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළු අත්පත් කරගැනීමේ නොතිත් ආසාවෙන් පෙළෙන මේ විශිෂ්ට ක්‍රීඩිකාව එම අවස්ථාව ලෙහෙසියෙන් අත් හැර දමනු ඇතැයි සිතිය නොහැකිය.

“එයා දැනටමත් වීසා අරන් ඉවරයි. තරගාවලියටත් නම දීලා ඉවරයි” යයි ජනවාරි මස 15 වැනිදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අධ්‍යක්ෂ ක්‍රෙග් ටිලේ අනාවරණය කර තිබේ.

“කොහොමටත් ඕස්ට්‍රේලියානු ටෙනිස් පිටිය කියන්නේ සෙරීනාටම කියාපු එකක්. ඒ  නිසා ඇය මේ තරගාවලිය මඟ හැර ගනු ඇතැයි මා නම් සිතන්නේ නෑ” යයිද ඔහු කීවේය.


 - 077

 


අදහස් (0)

‘සෙරීනා’ නම් මව යළි ටෙනිස් පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.