Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner සෙරීනා හමුවන කේබර්ට ග‍්‍රාෆ්ගෙන් සුබ පැතුම්

සෙරීනා හමුවන කේබර්ට ග‍්‍රාෆ්ගෙන් සුබ පැතුම්

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

630


වසර 14ක වෘත්තීය ටෙනිස් තරග දිවියේ දී ජර්මනියේ ඇන්ජෙලික් කේබර් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක අවසන් පූර්ව තරගයක් ජයගත්තේ පළමු වතාවටය. තරගයෙන් පසුව ඇය සිටියේ වෙනම ලෝකයකය.

ඒ මොහොතේ ආහාර පාන ගත්තේ කෙලෙසදැයි කියා ඇයට මතකවත් නැත. දස අතින්ම ඇය වෙත ගලා ආවේ සුබපැතුම්ය. තරගයෙන් පසුව පැවැති පශ්චාත් මාධ්‍ය හමුවෙන් පසුව ඇය සිය ජැකට්ටුවට අත දමා ස්මාට් ජංගම දුරකතනය පිටතට ගත්තාය. ඇය වෙත පැමිණ තිබූ අලූත්ම පණිවුඩය ඇය හඬ නගා කියැවූයේ ඉන් පසුවය.

‘මගෙන්  සුබ පැතුම්....මට ඇත්තටම ඔයා ගැන සතුටුයි.‘

ඒ පණිවුඩය එවා තිබුණේ කාලයක් පුරා  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ දැවැන්ත සෙවණැල්ලක් බවට පත්ව සිටි විශිෂ්ඨ කී‍්‍රඩිකා ස්ටෙෆී ග‍්‍රාෆ්ය. ඇය දැන් පදිංචිවී සිටින්නේ අමෙරිකාවේ ලාස් වේගාස් නුවරය. කේබර්ගේ ටෙනිස් ජීවිතයේ වීරවරිය ඇය වූ අතර මේ ජර්මානු කී‍්‍රඩිකාව සිය අඩිපාරේ යන 28 හැවිරිදි කේබර්ට දුන් ගුරුහරුකම් නිමක් නැත.

කේබර් සමග අවසන් මහා තරගයට එක්වී සිටින නොම්මර එකේ කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස් සම කිරීමට ඔන්න මෙන්න කියා සිටින්නේ ග‍්‍රාෆ්ගේ එම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 22 ක වාර්තාවයි.

34 හැවිදිරි සෙරීනා මේ ජර්මානු කී‍්‍රඩිකාවගේ වාර්තාව පසුපස හඹායන්නට පටන්ගත්තේ 1999 වසරේ සිටමය. ඒ වෙද්දී 17 වියේ පසුවූ සෙරීනා එතෙක් මෙතෙක් ග‍්‍රාෆ් හමුවේ දෙවතාවක්ම කී‍්‍රඩා කොට තිබේ. පළමුවැනි වතාවේ ඇය පරාජයට පත්වූ අතර ඉන්ඩියානා වේල්ස් හී පැවැති තරගාවලියක දී ග‍්‍රාෆ් පරාජය කිරීමට සෙරීනා සමත්වූවාය.

මාස දෙකකට පසුව සිය අවසන් ප‍්‍රධාන පෙළේ ටෙනිස් කිරුළ ලෙස ප‍්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනාගත් ග‍්‍රාෆ් තවත් මාස තුනකට පසුව කී‍්‍රඩාවෙන් සමුගත්තාය. ඊළඟට සෙරීනා අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ දිනාගනිමින් සිය ජයග‍්‍රාහී ගමන ආරම්භ කළාය.

දැන් කේබර්ගේ මෙහෙයුම වී ඇත්තේ අද පැවැත්වෙන අවසන් මහා තරගයේ දී සෙරීනා පරාජයට පත්කොට සිය මංගල ග‍්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ අත්පත් කරගැනීමය.
‘ජර්මාන්නු එකට එක් විය යුතුයි” කේබර් හිනැහෙමින් එසේ කියන්නේ ග‍්‍රාෆ්ගේ දිරිගැන්වීම ගැනය.

පසුගිය වසරේ ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී  ලූසී සෆරෝවා සමග තරග කිරීමෙන් පසුව සෙරීනාට ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් මහා තරගයකදී වමත හුරු කී‍්‍රඩිකාවක් හමුවන්නේ මුල් වතාවටය.

”ඇත්තටම මට සෙරීනාට එරෙහිව නැතිවෙන්න දෙයක් නෑ. ඒ නිසා මං එතැනට ගිහින් මගේ මුල්ම අවසන් තරගයෙන් තෘප්තියක් ලබන්න උත්සාහ කරනවා. සෙරීනාව පරාජය කරන්න උත්සාහ කරනවා” මං දන්නවා හැමෝම කියන්නේ සෙරීනා දිනාවි කියලයි. ඒක එක අතකින් මාව දිරිගැන්වීමක්. මට නෙවෙයි ඇත්තටම පීඩනය තියෙන්නේ සෙරීනාටයි” කේබර් එසේ කීවාය.

‘මං හිතන්නේ අවසන් තරගයට මාව තේරුණේ නිවැරැදිම වෙලාවෙයි. මම ඒකට සූදානම්. පසුගිය අවුරුදු කිහිපය පුරා සාර්ථකව කී‍්‍රඩා කරලා මං හොඳ අත්දැකීම් ගොන්නක් ලබාගත්තා. ඕනෙතරම් ඉහළ මට්ටමේ කී‍්‍රඩිකාවන් පරාජය කරලා තිබෙනවා. මමත් දැන් ඉදිරිපෙළ කී‍්‍රඩිකාවක් නේ” කේබර් එසේ කියන්නේ පසුගිය වසර 4 තුලම ලෝක කාන්තා ශ්‍රේණිගත කිරිම්වල පළමු දසදෙනා අතර රැඳී සිටීමට ඇය සමත්වූ බව සිහි කරමිනි. දැනට ඇය පසුවන්නේ 7 වැනි තැනය.

පසුගිය වසරේ මාර්තුවේදී ඇය සිය ටෙනිස් දිවියේ විරවරිය වන ග‍්‍රාෆ් හමුවන්නට ලාස් වේගාස් ගියාය. ග‍්‍රාෆ් එහි පදිංචිවී සිටින්නේ දරු දෙදෙනා සහ සැමියා වන හිටපු නොම්මර එකේ ටෙනිස් කී‍්‍රඩක ඇන්ඩෘ අගාසි සමගය. එහි දී කේබර් සිය 45 හැවිරිදි ටෙනිස් වීරවරිය හා දින තුනක් එකට කී‍්‍රඩා කරමින් සෑහෙන සතුටක් ලැබුවාය.

”එයා තාමත් හොඳට සෙල්ලම් කරනවා. හරි වේගයෙන් පන්දුවට පහර දෙනවා. පිටියේ දී ක්ෂණිකව එහාට මෙහාට ස්ථානගත වෙන්නේ හරියට ඒ කාලේ වගේමයි” කේබර් කීවාය.

ඒ දින තුනේදී ග‍්‍රාෆ් කේබර්ට බොහෝ දේ කියා දී තිබිණි. කේබර්ගේ කී‍්‍රඩා රටාව ගැනත්, පන්දුව පිරිනැමීමේ දී දක්වන දස්කම් ගැනත් ග‍්‍රාෆ් සිටියේ පැහැදීමකිනි. මීට වසර 16 කට පෙර ඇය ඉන්ඩියානා වේල්ස් තරගාවලියේ දී එවකට ටෙනිස් පිටියේ හෝඩිය කියවමින් සිටි 17 හැවිරිදි සෙරීනා හමුවේ පරාජය වීමෙන් පසුව කීවේ ද එවැනිම කතාවකි.

”එයා වේලාසනින්ම පන්දුව හඹා එනවා. ඒ වගේම ඉතා හොඳින් පන්දුව පිරි නමනවා. නිසැකවම සෙරීනා ටෙනිස් පිටියේ ගොඩක් දුර ගමනක් යාවි. එයා අවදානම් සහිත පහරවල් කරා යාමට දෙවතාවක් සිතන්නේ නැති පාටයි.” එදා ග‍්‍රාෆ් තමා පරාජය කළ යොවුන් ටෙනිස් ශූරිය සෙරීනා ගැන කීවේ එලෙසටය.

‘මං දිනපු ලොකුම තරගාවලිය තමයි මේක. මම දැන් දන්නවා මට ටෙනිස් පිටියේ ලොකු ලොකු කී‍්‍රඩිකාවනුත් පරද්දන්න පුලූවන් බව.‘ එදා තරගාවලියේ ජයග‍්‍රහණයෙන් පසුව සෙරීනා එසේ කියා තිබිණි.

එදා එසේ සිය ජයග‍්‍රාහී ගමන්මග ආරම්භ කළ සෙරීනා තවමත් සිටින්නේ කාන්තා ටෙනිස් පිටියේ සිය අණසක පතුරුවමිනි. පසුගිය වසරේ පැවැති ග‍්‍රෑන්ඞ් ස්ලැම් තරගාවලි 4න් තුනක්ම ජයගත් ඇය ඊයේ කියා සිටියේ තමා දැන් පසුගිය වසරට වඩා ඉහළින් සිටින බවකි.

‘මේක තමයි මම දිනන්න යන හොඳම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව. මොකද මම දස්කම් අතින් පසුගිය අවුරුද්දට වඩා ඉදිරියෙනුයි ඉන්නේ. ‘ ඇය සිය ජර්මානු ප‍්‍රතිවාදිනිය කේබර්ට එල්ල කරන්නේ දරුණු අනතුරු ඇඟවීමකි.

සෙරීනා අද දිනන්නට සූදානම් වන්නේ ඇගේ 22 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලැම් කිරුළය. එය ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලිය විවෘත එකක් බවට පත් කිරීමෙන් පසුව වැඩිම වාර ගණනක් දිනූ ග‍්‍රාෆ්ගේ වාර්තාව සම කිරීමක් මෙන්ම එතෙක් මෙතෙක් වැඩිම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දිනා ඇති මාගරට් කෝට්ගේ ශූරතා 24 ට තවත් ආසන්න වීමකි.

අද තරගය සෙරීනාගේ 26 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් තරගය වන අතර කේබර්ගේ මංගල ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් තරගයයි. මීට පෙර අවස්ථා 6කදීම එකිනෙකා හමුවී ඇති අතර කේබර් හමුවේ සෙරීනා පරාජයට පත්වූයේ 2012 වසරෙ සින්සිනෙටි තරගාවලියේදී පමණි.

 


- 077

 


අදහස් (0)

සෙරීනා හමුවන කේබර්ට ග‍්‍රාෆ්ගෙන් සුබ පැතුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.