Last Update  :  2025-05-06 16:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner පාපැදි සම්මේලනය රහස් පොලිසියට යයි

පාපැදි සම්මේලනය රහස් පොලිසියට යයි

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෝමාගම දියගම ඉදි වූ ‘වෙලෝඩ්‍රෝම්’ පාපැදි ධාවන පථය පාවිච්චියට නොගෙන කඩා දැමීම සම්බන්ධයෙන් හා පාපැදි සම්මේලනය සතුව පවතින බව කියන අරමුදලක භාරකාරත්වය පැවරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි දෙකක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය තීරණය කර තිබේ.

එහි විධායක සභාව ඉකුත්දා රැස්වූ අවස්ථාවේ ගනු ලැබූ තිරණයක් අනුව එම පැමිණිලි ගොනු කෙරේ.

දියගම වෙලෝඩ්‍රෝම් ධාවන පථය රුපියල් මිලියන හතකට ආසන්න මුදලක් වැයකර ඉදිකරන ලද නමුත් එය කිසිදු ප‍්‍රයෝජනයකට නොගෙන කඩා දැමීම පිළිබඳව චෝදනා ලබා සිටින්නේ එවකට පාපැදි සම්මේලනයේ සභාපති ධූරය දැරූ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරන මහතාය.

මේ අතර මවුන්ටන් පාපැදි සංගමයේ වත්මන් සභාපතිවරයාද වන අමල් සූරියගේ මහතා එවකට පාපැදි සම්මේලනයේ සභාපති ධුරය දැරූ හිටපු ඇමැතිවරයකු වන රොනී ද මෙල් මහතාගේ සමයේ ආරම්භ කළ බව කියන පාපැදි  සංවර්ධන අරමුදලක් පාපැදි සම්මේලනයේ භාරකාරත්වයට  පැවරීම පැහැර හරිමින් තමන් සන්තකයේ තබා ගැනීම පිළිබඳව චෝදනා ලබා සිටියි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගෙන් ‘ලංකාදීපය’ කළ විමසුමකදී පැවසුවේ අදාළ සිදුවීම්  සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස රහස් පොලීසියෙන් ඉල්ලා සිටීමට පාපැදි විධායක කමිටුව තීරණය කළ බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා පොලිස්පතිවරයා පෞද්ගලිකවම මුණ ගැසීමටත් පාපැදි විධායක කමිටුව තීරණය කළ බව අමල් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩා සංකීර්ණයේදී  වසර 2004දී ඉදිකළ වෙලෝඩ්‍රෝම් පාපැදි ධාවන පථය පසුව කඩා ඉවත් කරන ලදී. එම ස්ථානයේ මේ වනවිට පිහිනුම් තටාකයක් ඉදිවී තිබේ.

වෙලෝඩ්‍රෝම් කෘති‍්‍රම ධාවන පථය ඉදිකිරීම සඳහා විදේශීය විශේෂඥයකුගේද සේවය ලබාගෙන තිබූ නමුත් පසුව හෙළිවූයේ එම ඉදිකිරීම් ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් තොර බවටය.

මතභේදයට තුඩුදී තිබෙන පාපැදි සංවර්ධන අරමුදල 1998 දී ස්ථාපිත කළ එකකි.

වසර ගණනාවක් තිස්සේ එකතු වූ බැංකු පොළියත් සමඟ මේ වනවිට එම  අරමුදල මිලියන කීපයකට ඉහළ නැග ඇතැයි ද වාර්තා වේ.

එහි භාරකාරත්වය දරන අමල් සූරියගේ මහතා මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවන්හිදී ‘ලංකාදීප’යට අදහස් දක්වමින් පැවසුවේ එම අරමුදලේ මුදල් සුරක්‍ෂිතව පවතින බවත් කෙසේ වුවත් එය පාපැදි සම්මේලනයට බාරදීමට තමන් සූදානම් නැති බවය.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන් තමන්ට පාපැදි සම්මේලනයේ නිලධාරීන් පිළිබඳව විශ්වාසයක් නැති නිසා තමන් එම ස්ථාවරයේ පසුවන බවය. එසේම ඒ පිළිබඳව කතා කිරීමට පාපැදි සම්මේලනයේ වත්මන්  නිලධාරීන්ට කිසිදු අයිතියක් නැතැයිද ඔහු අවධාරණය කර සිටියේය.

තමාගේ අපේක්‍ෂාව වන්නේද සුරක්‍ෂිතව පවතින එම අරමුදල  ඉදිරියේදී මෙරට පාපැදි කී‍්‍රඩාවේ යහපත සඳහා යෙදවීම බවත් සුදුසු අවස්ථාව බලා එය ඉටු කිරීමට තමා සුදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර වෙලෝඩ්‍රෝම් ධාවන පථය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම ප‍්‍රමාද වූයේ එම කාලසීමාවට අදාළ පාපැදි සම්මේලනයේ ගිණුම් වාර්තා ලබාගැනීම ප‍්‍රමාදවීම නිසා බවත් හිටපු නිලධාරීන් ඒ සම්බන්ධයෙන් මෙතෙක් පියවර නොගැනීම පිළිබඳව අවධානය යොමු කරමින් රහස් පොලීසියට පැමිණිලි කිරීමට තීරණය කළ බවත් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.


●●●

 


අදහස් (0)

පාපැදි සම්මේලනය රහස් පොලිසියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.