Last Update  :  2025-09-17 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හයිසින්ත් ගෙන් ඇමැතිට තද බල ලිපියක්

හයිසින්ත් ගෙන් ඇමැතිට තද බල ලිපියක්

editorial - 2025 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජිබොල්ටා ලෝක යොවූන් දැල්පන්දු  (නෙට්බෝල්) තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පත් කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් හිටපු ජාතික යොවුන් දැල්පන්දු පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ මහත්මිය ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාට ලිපියක් යොමු කර තිබේ.

එහිදී ක්‍රීඩා ඇමැතිවරයා හා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතාගේ හැසීරීම පිළිගත නොහැකි කනගාටුදායක තත්වයක් බවද ඇය එහිදී පෙන්වාදී තිබේ.

සැප්තැම්බර් 19 වැනිදා සිට 29 වැනිදා ජිබොල්ටාවේදී පැවැත්වෙන ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියට අවසන් මොහොතේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් තීරණයත් සමග එහි නේවාසික පුහුණුවීම් පෙරේදා (4) ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ පිටියේ ආරම්භ  කර තිබේ. එම පුහුණු කටයුතු මෙහෙයවීම් සදහා කළින් කනිෂ්ඨ පුහුණුකාරියක් ලෙස කටයුතු කර ඇති කුමාරි ගමගේ මහත්මිය කැඳවා තිබේ.

කෙසේවූවත් පසුගිය ජූලි 4 වැනිදා කොරියාවේදී නිමාවට පත්වූ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී තෙවැනි ස්ථානයට පත්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස කටයුතු කළ හයිසින්ත් විජේසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයට එන්තර වාසියක් යොමු කරමින් මීට පෙර දැනුම්දී ඇත්තේ ජාතික යොවුන් දැල්පන්දු පුහුණුකරු ධූරය පිරවීම සදහා අයැදුම්පත් කැඳවීමේ ප්‍රසිද්ධ පුවත්පත් නිවේදනයේ ක්‍රීඩා අමාත්‍යාංශය දක්වා තිබුණේ අදාළ පුහුණුකරු ධූරය පිරවීම ඉහත තරග සංචාර දෙකම ඉලක්ක කරමින් සිදු කරන බවයි.

ඒ අනුව අදාළ පුහුණුකරු ධූරය නිර්දේශ කිරීම සදහා පැවැති සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ක්‍රමවේදයට අනුව දෙවැනි තැනට පත් වූ බව කියන අයැදුම්කාරියක් ඒ සදහා පත් කිරීමට ගන්නා ක්‍රීඩා අමාත්‍යාංශයේ උත්සාහය හෙළා දකින බවත් ඒ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට පැමිණිලි කරන බවත් සිය ලිපියෙන් ඇය වැඩිදුරටත් අවධානය කර ඇත.

තමන් පුහුණුකරු ධූරයේ කටයුතු කළේ පෞද්ගලිකව කැපවීම් කීපයක්ම කරමින් වූවත් පුහුණුකරු ධූරයේ කටයුතු කිරීම වෙනුවෙන් මෙතෙක් කිසිඳු ගෙවීමක් පවා නොලැබුණු බවත් සම්මත ක්‍රමවේදයෙන් බැහැරව ගොස් ක්‍රීඩා අමාත්‍යාංශය එහි සේවය කරන  නිලධාරිනියන්ට පත්වීම් ලබාදීමට දරන උත්සාහය හෙළා දකින බවත් ඇය ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබේ.

ජිබොල්ටා ලෝක යොවුන් දැල්පන්දු තරග සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 16 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට සැලසුම් කර තිබේ. ඒ සදහා රුපියල් කෝටි තුනකට ආසන්න පිරිවැයක් දැරීමට සිදු වනු ඇතැයිද වාර්තාවේ. සිය පළමු තරගයට ශ්‍රී ලංකාව ප්‍රබල එංගලන්තයට එරෙහිව සැප්තැම්බර් 20 වැනිදා තරග වදියි.

 


අදහස් (0)

හයිසින්ත් ගෙන් ඇමැතිට තද බල ලිපියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.