Last Update  :  2025-12-21 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව වෙරළ වොලිබෝල් පෙර අර්ධ අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකාව වෙරළ වොලිබෝල් පෙර අර්ධ අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ හයවැනි දිනය වූ අද (24) ශ‍්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දෙදෙනා වන ජූඞ් මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

ජූඞ් සහ වසන්ත සහභාගි වන 16 දෙනාගේ වටයේ තරගය ‍ෙ (25) දකුණු කොරියානු වේලාවෙන් මධ්‍යහන 12.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.30ට කසකස්තානයේ ඞී. ඇලෙක්සැන්ඩර් සහ එස්. ඇලෙක්සි යන ප‍්‍රබල ක‍්‍රීඩකය්නට එරෙහිව පැවැත්වේ.

මෙම කසකස්තාන් ක‍්‍රීඩකයන් දෙදෙනා පළමු වටයේදී මැලේසියාව සහ  ඕමානය පරාජය කරමින් මෙම වටයට සුදුසුකම් ලැබූහ.

ඉදිරි 16 දෙනාගේ වටයේ සිට පිළිමඵන් පිටු දැකීමේ ක‍්‍රමයට තරගාවලියට ඉදිරියට යන අතර ජූඞ් සහ වසන්ත මෙම තරගයෙන් ජය ලැබුවහොත් අවසන් අට දෙනාගේ වටයට සුදුසුකම් ලබති.

ඉංචියොන් වෙරළ වොලිබෝල් පිටියේදී ඊයේ පස්වරුවේ පැවැති පළමු වටයේ අවසන් තරගයේදී ජූඞ් සහ වසන්ත වට 2-0 කින් බංග්ලාදේශ ක‍්‍රීඩකයන් වන මොහොමිර් හොසේ සහ හොරොසිට් බිස්වස් පරාජය කිරීමට සමත් වූහ.

ජූඞ් සහ වසන්ත දෙවැනි වටයට පළමු වටයටත් වඩා පහසුවෙන් ලකුණු 21-09 කින් ජය ලැබූහ. එහිදී වඩාත් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයා වන ජූඞ් මහේෂ් පෙරේරා ගුවනේ පාවෙමින් පන්දු ගොඩ ගනිමින් ක‍්‍රීඩා කළ ආකාරයට කොරියානු පේ‍්‍රක්‍ෂකයන්ගේ ද අත්පොළසන් හිමිවූහ.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙපළ පළමු වටය ලකුණු 21-14 ක් ලෙස පහසුවෙන් ජය ලැබීය. එහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සිය අත්දැකීමේ මනා ලෙස තරගයට මුසු කරමින් විශාල පහර අමතක කර පන්දුව දැළ අසළට සහ පිටු පස රේඛාව ආසන්නයට ස්ථානගත කරමින් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කළහ.

 තරගයෙන් පසුව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ජූඞ් සහ වසන්ත පැවසුවේ පසුගිය ආසියානු ක‍්‍රීඩා උළෙලේදී තමන්ට අවසන් 16 අතරට පැමිණීමට නොහැකි වූවත් මෙවර එම වැරදි නිවැරදි කර ගනිමින් ක‍්‍රීඩා කරන බවත් අවසන් කණ්ඩායම් අටේ වටයට පැමිණ ශ‍්‍රී ලංකාවට ලොකු දෙයක් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

”අපි මේ තරගය ජය ලැබුවේ අත්දැකීම්වලින්, විශේෂයෙන් කියන්න  ඕනේ බංග්ලාදේශ ක‍්‍රීඩකයන් දෙදෙනා අත්දැකීම් අඩු ක‍්‍රීඩකයන් වීම නිසා ඔවුන් විශාල පහර බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි පන්දුව ස්ථානගත කිරීම තෝරා ගත්තා” යැයි ජූඞ් මහේෂ් පැවසීය.

”කාම්බෝජයට එරෙහිව තරගයේදී මගේ පන්දුව සකස් කිරීමේ දුර්වලතාවක් ඇති වූණා. මොකද අපි ඔවුන් සමග මීට පෙර ක‍්‍රීඩා කර තිබුණේ නෑ. නමුත් මේ ක‍්‍රීඩකයන් ගැන අපි දන්නවා. ඒ නිසා මේ තරගයේදී පහසු වුණා” යැයි වසන්ත රත්නපාල පැවසීය.

ශ‍්‍රී ලංකා වෙරළ වොලිබොල් පිලේ සෙසු යුගළ වන පුබුදු කුමාර සහ අසංක ප‍්‍රදීප් කුමාර ඊයේ සහභාගි වූ පළමු වටයේ අවසන් තරගයේදී තියුණු තරගයකින් පසුව 2-0 කින් පරාජයට පත්වූහ.

පුබුදු සහ අසංක දෙවැනි වටයේදී ප‍්‍රබල චීන ක‍්‍රීඩකයන්ට එරෙහිව තියුණු අභියෝගයක් යොමු කිරීමට සමත් වීමෙන් දෙවැනි වටය ලකුණු 30 ක් දක්වා ඇදී ගියේය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ දෙවැනි වටය 16-16 ක් ලෙස සම කිරීමෙන් පසු දෙපිලට ලකුණ බැගින් එකතු වෙමින් අවස්ථා 12 කදී ලකුණු සමවී ලකුණු 28-28 ක් ලෙස සම වීම බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය.

එහිදී පුබුදු සහ අසංක උස ක‍්‍රීඩකයන් දෙපලක් වූ චීන ක‍්‍රීඩකයන්ගේ ආවරණ මග හැරීමට ක‍්‍රීඩාංගණයේ මැද සිට ඩෑෂ් පහර ගැසීමේ උපක‍්‍රමයක් යොදාගත් අතර එය සාර්ථක වීමෙන් සටනක් දීමේ අවස්ථාව උදාවිය.  

අවසන් මොහොතේ චීන ක‍්‍රීඩකයන් දෙපළ පිට පිටම ලකුණු දෙකක් රැුස්කර ගැනීමෙන් ලකුණු 30-28 ක් ලෙස ජය හිමිවූහ.

එම වටය ජය ලබා 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්ව තෙවැනි වටය ජය ලැබුවේ නම් අවසන් 16 දෙනාගේ වටයට පැමිණීමේ අවස්ථාව තිබුණි.

ශ‍්‍රී ලංකා රුවල් ඔරු ක‍්‍රීඩක චමීර ලක්‍ෂාන් ගුණවර්ධනද අද (24) පස්වරුවේ සහභාගි වූ දෙවැනි තරගයේදී හත් දෙනකු අතරින් පස්වැනි ස්ථානයට පත්විය. ඔහු ඊයේ පෙරවරුවේ සහභාගි වූ පළමු තරගයේ ක‍්‍රීඩකයන් හත්දෙනාගෙන් අවසන් ස්ථානයට පත්විය.

ශ‍්‍රී ලංකා රන් පදක්කම් බලාපොරොත්තුව වන ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිරිමි ක‍්‍රිකට් කණ්ඩායම මේ වන විට ක‍්‍රීඩා ගම්මානයට පැමිණ සිටියි. ශ‍්‍රී ලංකා පිල හෙට (25) පෙරවරුවේ පුහුණු සැසියකට සහභාගි වීමට නියමිතය.

ක‍්‍රීඩා උළෙලේ හයවැනි දිනය වූ ඊයේ පස්වරුව වන විට චීනය රන් පදක්කම් 50 ක් සමගින් පදක්කම් 98 ක් දිනා ගැනිමින් පදක්කම් සටහනේ පෙරමුණේ පසු විය. සත්කාරක දකුණු කොරියාව රන් පදක්කම් 24 ක් දිනා දෙවැනි ස්ථානයේ ද, ජපානය රන් පදක්කම් 17 ක් දිනා තෙවැනි ස්ථානයේ ද පසුවිය.

රටවල් 45 ක් සහභාගි වන මෙම ක‍්‍රීඩා උළෙලේ මේ වන විට රටවල් 24 ක් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබේ.

හෙට (25) ක‍්‍රීඩා උළෙලේ හත්වැනි දිනයයි.


අදහස් (1)

ශ්‍රී ලංකාව වෙරළ වොලිබෝල් පෙර අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.