දකුණු ආසියානු පැසිපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් මාලදිවයිනේදී පැවැති 5 වැනි දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ සත්කාරක මාලදිවයින මෙම තරගාවලියට සහභාගී වූ අතර එහිදී ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්විණ. සහභාගි වූ සියලුම තරග ජයගත් ඉන්දියාව තරගාවලියේ රන් පදක්කම දිනාගැනීමට සමත් වූ අතර අගෝස්තු මාසයේදී ලෙබනනයේ පැවැත්වීමට නියමිත ආසියානු පැසිපන්දු තරගාවලියටද සුදුසුකම් ලබා ගත්තේය.
තරගාවලියේ රිදී පදක්කම දිනාගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර ශ්‍රී ලංකාව, නේපාලය සහ සත්කාරක මාලදිවයින එක් තරගය බැගින් ජයගෙන සිටියද ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම හිමිවිය.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ තරග වලදී ඉන්දියාව හමුවේ ලකුණු 88/61 ක් ලෙසද, බංග්ලාදේශය හමුවේ ලකුණු 90/80 ක් ලෙසද, මාලදිවයින හමුවේ ලකුණු 69/63 ක් ලෙසද පරජයට පත්විය. එහිදී ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකි වූයේ නේපාලයට එරෙහිව පැවැති තරගය පමණක් වන අතර එහි ලකුණු තත්ත්වය සටහන් වූයේ 81/65 ක් ලෙසනි.
රොෂාන් රන්දිම, අසංක සුවාරිස්, රොෂාන් ප්‍රනාන්දු, ගයාන් ඩි’කෘස්, මිතිල අබේසිංහ, තුෂාන් ධර්මසේන, ක්ලින්ටන් තේවකුමාර්, සුදේෂ් අහමඞ්, තිමෝති නිතුෂාන්, චරිත් පෙරේරා, ඇන්තනි වෙනිටෝ සහ ඉසුරු පෙරේරා යන ක්‍රීඩකයෝ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.
ප්‍රසන්න ජයසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, ජගත් කුලතුංග මහතා එහි සහයක පුහුණුකරු ලෙසත් තරගාවලියට සහභාගි වූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.