Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා කෝ - කෝ කණ්ඩායම් දෙකටම සම්පූර්ණ වියදම් ආසියානු සම්මේලනයෙන්

ශ්‍රී ලංකා කෝ - කෝ කණ්ඩායම් දෙකටම සම්පූර්ණ වියදම් ආසියානු සම්මේලනයෙන්

editorial - 2023 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රටවල් 16 ක සහභාගීත්වයෙන් අද (20) ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාටි නුවරදී ආරම්භ වූ සිව්වැනි ආසියානු කෝ - කෝ (කාන්තා/පිරිමි) තරඟමාලාව සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කෝ - කෝ කණ්ඩායම් දෙකටම ගුවන් ප්‍රවේශපත්‍ර හා ඉන්දියාවේ සෙසු සියලු පහසුකම් සළසාදීමට ආසියානු කෝ - කෝ සම්මේලනය එකඟ වී තිබේ.

ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 6 දෙනකු සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර වියදම් ලෙස රුපියල් මිලියන හතකට ආසන්න පිරිවැයක් දැරීමට ඉන්දියාවේ නවදිල්ලි නුවර මූලස්ථානය කර ගත් ආසියානු කෝ - කෝ සම්මේලනය එකඟ වී තිබේ.

රටවල් 16 ක සහභාගීත්වයෙන් ආරම්භ වූ  මෙම තරගමාලාව ලබන බ්‍රහස්පතින්දා (23) දක්වා පැවැත්වේ.

ඒ සඳහා බරපැන දරණ ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරය වී ඇත්තේ අමාත්‍යාංශයේ ප්‍රතිපාදන අවසන්ව තිබෙන බැවින් වියදම් ලබාදිය නොහැකි බවයි.

එයින් පසුව ශ්‍රී ලංකා කෝ - කෝ සම්මේලනය තමන් පත්ව ඇති තත්වය ගැන තරග සංවිධායකයන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් තරග සංචාරයේ ගුවන් ප්‍රවේශපත්‍ර ඇතුළුව සෙසු සියළු වියදම් දැරීමට ආසියානු කෝ - කෝ සම්මේලනය පියවර ගෙන තිබේ.

මෙම තත්වය පිළිබඳ ශ්‍රී ලංකා කෝ - කෝ සම්මේලනයේ ලේකම් අතුල විජේනායක මහතා මෙසේ පැවසීය.

“අඩු තරමින් අපේ පුහුණු සංචිත දෙකට කෑමබීම හා ඇඳුම් ටිකවත් දෙන්න කියලා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අපි ඉල්ලීමක් කළා. ඊටවත් අපට ප්‍රතිචාර ලැබුණේ නෑ.“

“ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 30 දෙනෙකු සංචාරයට පෙර දින ගණනාවක් නේවාසික පුහුණුවීම් සඳහා නතර කර ගෙන ඔවුන්ට කන බොන ටිකවත් දුන්නේ මගේ පෞද්ගලික වියදමින්. මේ තරග සංචාරයට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයකට ඇඳුමක් ගන්න තරම්වත් හැකියාවක් නෑ“

“අපේ තත්ත්වය තේරුම් ගත්ත ඉන්දීය තරග සංවිධායකයන් නොවන්නට අපට මෙම සංචාරය කෙසේවත් යන්න ලැබෙන්නේ නෑ. ආසියානු තරගාවලියට සූදානම් වුණු අපට ක්‍රීඩා අමාත්‍යාංශය දක්වනු සැළකිල්ල ගැන ඇත්තෙන්ම කනගාටුයි“ යයි ද අතුල විජේනායක මහතා පැවසීය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19) දිවයිනෙන් පිටත්ව ගියේය.

1996 දී ශ්‍රී ලංකාවට කෝ - කෝ හඳුන්වා දීමට පුරෝගාමී මෙහෙවරක් කළේ ශ්‍රී ලංකා කෝ - කෝ සම්මේලනයේ වත්මන් ලේකම් ධුරය හොබවන ජාතික කෝ - කෝ පුහුණුකරු ලෙස වසර ගණනාවක් තිස්සේ කටයුතු කරන අතුල විජේනායක මහතාය.  ශ්‍රී ලංකා කෝ - කෝ කණ්ඩායම් පසුගිය පෙබරවාරි 26 වැනිදා සිට ගම්පහ නයිවල නේවාසිකව සිටිමින්, එහි සණස පිටියේදී පුහුණුවීම් කළේය.

මේ වසර අගදී රටවල් 32 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ලෝක කෝ - කෝ ශූරතා තරගාවලියට ආසියානු කලාපයෙන් සිව්වැනි ස්ථානය දක්වා කාන්තා හා පිරිමි ඉසව් දෙකෙන් පැමිණෙන කණ්ඩායම් තෝරා ගැනේ. ශ්‍රී ලංකාවේ කෝ - කෝ කණ්ඩායම් ආසියනු කලාපයේ කාන්තා හා පිරිමි ඉසව් දෙකේම මේ වනවිට සිව්වැනි ස්ථානයේ පසුවේ.

මෙම වසරේ චීනයේ හන්ජෝ නුවරදී 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පළමු වතාවට කෝ - කෝ ක්‍රීඩා ඉසව්ව නිර්දේශ කර තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකා කෝ - කෝ කණ්ඩායම් දෙකටම සම්පූර්ණ වියදම් ආසියානු සම්මේලනයෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.