Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 8 කට පැරදුනත් ලෝකඩ පදක්කම්

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 8 කට පැරදුනත් ලෝකඩ පදක්කම්

editorial - 2025 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ හයවැනි සහ හත්වැනි දිනය වූ සෙනසුරාදා (17 වැනිදා) සහ ඉරිදා (18 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 8 දෙනෙක් ලෝකඩ පදක්කම් හිමිකර ගැනීමට සමත් වූහ. 

එහිදී විශේෂත්වය වූයේ එම ක්‍රීඩිකාවන් නියෝජනය කළ බර පංති 8 සඳහාම තරග වැදී ඇත්තේ ක්‍රීඩිකාවන් සිවු දෙනෙකුට වඩා අඩු සංඛ්‍යාවක් වීමය. එබැවින් ඔවුන් මුහුණ දුන් පළමු තරගයම අවසන් පූර්ව තරගයක් වූ අතර එහිදී පරාජයට පත්වුවද, ඔවුන්ට බොක්සිං තරග නීති රීතිවලට අනුව ලෝකඩ පදක්කමක් හිමිවිය.

සෙනසුරාදා පැවැති යොවුන් කාණ්ඩයේ අවසන් පූර්ව තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වූ පවනි මුතුගල කිලෝ ග්‍රෑම් 48 බර පංතියේද, සබ්‍රිනා රහීම් කිලෝ ග්‍රෑම් 52 බර පංතියේද ලෝකඩ පදක්කම් දිනා ගත්තේ පිළිවෙළින් ඉන්දීය ක්‍රීඩිකා චන්චල් කුමාරි සහ කසකස්ථාන ක්‍රීඩිකා රඛ්මිනා අබ්දුමෙස්හිටෝවා හමුවේ පරාජය වෙමිනි.

ඉරිදා පැවැති වයස 22 න් පහළ කාණ්ඩයේ අවසන් පූර්ව තරගවලදී නෙත්මිණී පෙරේරා (කි.ග්‍රෑ. 48), සචිනි ප්‍රනාන්දු (කි.ග්‍රෑ. 50), යසිනි ප්‍රනාන්දු (කි.ග්‍රෑ. 52), සන්දීපනී කාරියවසම් (කි.ග්‍රෑ. 54), කීර්තනා උදයකුමාර් (කි.ග්‍රෑ. 60) සහ දෙව්මි සංජනා (කි.ග්‍රෑ. 66) යන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පරාජයට පත් වූහ.

එම තරගවලදී පිළිවෙළින් ඉන්දීයාවේ මහී සිවාච්, වියට්නාමයේ න්ගොක් ට්‍රාන් න්ගුයෙන්, කසකස්ථානයේ ටොමිරිස් මයිර්සකුල්, වියට්නාමයේ මායි චුච් න්ගෝ, කසකස්ථානයේ අනාර් ටුර්සයින්බික් සහ ඉන්දියාවේ එච්. හිමන්ෂි යන ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ප්‍රතිවාදීන් බවට වූහ.

සෙනසුරාදා පැවැති යොවුන් කාණ්ඩයේ පිරිමි අවසන් පූර්ව තරගවලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ජී.එස්.සී. වර්ණකුලසූරියට (කි.ග්‍රෑ. 48) සහ ඒ.ඩබ්.ඒ. ජයතිස්සටද (කි.ග්‍රෑ. 57) එහිදී කසකස්ථාන ක්‍රීඩකයන් හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ‍ලෝකඩ පදක්කම්වලින් සෑහීමකට පත්වීමට සිදුවූහ. මොවුන් දෙදෙනාම මූලික වටයේ තරගවලදී ජය ලබා අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ වූහ.

ඒ අනුව සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී ශ්‍රී ලංකාවට හිමිවූ ලෝකඩ පදක්කම් 10 ද සමග මේ වන විට මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනාගෙන ඇති ලෝකඩ පදක්කම් සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගියේය. ශ්‍රී ලංකාවට පළමු ලෝඩක පදක්කම හිමිකර දෙනු ලැබුවේ වයස 22 න් පහළ කාණ්ඩයේ කි.ග්‍රෑ. 57 කාන්තා අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්වූ එල්. කජින්තිනී විසිනි. 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 8 කට පැරදුනත් ලෝකඩ පදක්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.