Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වීසා ප්‍රශ්නයෙන් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් කරයි

වීසා ප්‍රශ්නයෙන් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් කරයි

editorial - 2025 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

සෙනසුරාදා (19) ජිබ්‍රොල්ටාවේදී ආරම්භ වූ ලෝක යොවුන් දැල්පන්දු  (නෙට්බෝල්) තරගාවලියට වීසා අනුමත නොවීම නිසා ඊයේ ( 22) වන විටත් ඊට සහභාගිවීමට අපොහොසත්ව සිටි ශ්‍රී ලංකාව තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් කළ බව වාර්තාවේ.

ජිබ්‍රොල්ටා තරග සංවිධායකයන් තරගාවලිය පැවැත් වෙමින් තිබෙන අතර මෙම තීරණයට එළඹ ඇත්තේ මූලික වටයේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සිය තෙවැනි තරගයටත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත්වීම සැලකිල්ලට ගනිමිනි.

ඊයේ ශ්‍රී ලංකාවට යෙදී තිබුණේ ජැමෙයිකාව සමග තරගයයි.එම තරගයේ නිතරග ජය ජැමෙයිකාවට හිමි වන අතර මූලික වටයේ එංගලන්තය හා වේල්සය සමග යෙදී තිබූ තරග දෙකට ශ්‍රී ලංකාව සහභාගි නොවීමෙන් එහි නිතරග ජයග්‍රහණයන්ද ප්‍රතිවාදීනියන්ට ප්‍රදානය විය.

මේ අතර තරගාවලියේ ශ්‍රී ලංකාවට යෙදී තිබූ මූලික වටයේ සිය සිවු වැනි (අවසන්) තරගය හෙට (24) ටොංගා රාජ්‍යයට එරෙහිව යෙදී තිබුණත් ශ්‍රී ලංකාව සහභාගි නොවීම තුළ එහි නිතරග ජය ප්‍රතිවාදීනීයන්ට ඊයේ වන විටත් ප්‍රදානය කර තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය හරහා ජිබ්‍රොල්ටාවට ඇතුළුවීමේ වීසා ලබා ගැනීම සදහා ඇයැදුම් කර තිබුණේ පසු ගිය සදුදා (15) බවත් ඒ පසු ගිය බ්‍රහස්පතින්දා (18) වන විට ඔවුන් දිවයිනෙන් පිටත්ව යාමේ අරමුණෙන් බවත් ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේවූවත් ඊයේ වන විටත් වීසා අනුමත වී නොතිබුණු බැවින් හා ජිබ්‍රොල්ටා තරග සංවිධායකයන් ශ්‍රී ලංකාව නිල වශයෙන් තරගාවලියෙන් ඉවත් කිරීමට ගත් තීරණයත් සමග මෙම තරග සංචාරය අත් හැර දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පසු ගිය 2024 මැයි 30 වැනිදා සිට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අත්හිටුවා තිබේ.ඒ වෙනුවට දේශීය දැල්පන්දු පරිපාලනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්  (රාජකාරී පැවැරුම්) භාරයට පත් කර තිබියදී මෙම සිදුවීම වාර්තා විය.

ජිබ්‍රොල්ටා ලෝක කුසලාන යොවුන් දැල්පන්දු තරග සංචාරය සදහා ශ්‍රී ලංකාව නිසි පෙර සූදානමකින් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මේ වන විට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට හා ක්‍රීඩා අමාත්‍යාංශයට චෝදනා එල්ලවී තිබේ.එහිදී ප්‍රමාණවත් කාලයක් ලබා නොගනිමින් වීසා අයැදුම් කිරීම ගැනත් චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකාව ජිබ්‍රොල්ටා ලෝක යොවුන් තරග සංචාරයට නිර්දේශ ලබා ගත්තේ කොරියාවේදී පැවැති යොවුන් දැල්පන්දු තරගාවලියේ(2023) තෙවැනි ස්ථානය ලැබීමෙනි.කෙසේවූවත් ජිබ්‍රොල්ටා ලෝක යොවුන් තරග සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් සිදු කළේ පසු ගිය සැප්තැම්බර් 19 වැනිදාය.එහි නේවාසික පුහුණුවීම් ආරම්භ කළේ පසු ගිය ඔක්තෝබර් 2 වැනිදාය.

ඒ අතර එල්ල වන චෝදනාවක් වන්නේ තරගාවලිය ආසන්නයේදී ජිබ්‍රොල්ටා තරග සංවිධායකයන්ගේ  (ලෝක දැල්පන්දු සම්මේලනයේ) දැනුවත් කිරීම්වලට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ බවයි.ඊට හේතුවී ඇත්තේ ඒ සම්බන්ධයෙන් වගකීම් දැරීමට ශ්‍රී ලංකාවේ පාර්ශවයක් නොවීමයි.

රටවල් 20 ක් නිර්දේශ ලැබූ මෙවර ලෝක යොවුන් ( වයස 21 න් පහළ) දැල්පන්දු තරගාවලියෙන් සැම්බියාවද ඉවත්ව තිබේ.ඉරිදා (28) තරගාවලිය නිමාවට පත්වේ.

 


අදහස් (0)

වීසා ප්‍රශ්නයෙන් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.