Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වර්වින්කා ප‍්‍රංශ විවෘත ශූරතාව දිනාගනී

වර්වින්කා ප‍්‍රංශ විවෘත ශූරතාව දිනාගනී

Dilrukshi - 2015 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මීට සති දෙකකට පමණ පෙර ප‍්‍රංශයේ පැරිස් නුවර රෝලන්ඞ් ගැරෝස් ටෙනිස් පිටියේදී 114 වැනි ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය ආරම්භ වෙද්දී ඊට තරග වදින ක‍්‍රීඩකයන්ගේ ලැයිස්තුව දුටු ඇතැමුන් සිතුවේ පිරිමි අවසන් මහා තරගයේ දී ස්විට්සර්ලන්ත ජාතික ගීය වාදනය කිරීමේ අවස්ථාවක් උදාවනු ඇති බවකි. එහෙත් ඒ කිසිවකු එවැනි අදහසක් දැරුවේ ස්ටෑන් වර්වින්කා අරභයා නොවන බව නම් සහතිකය.

මෘදු ලෙස කතාබහ කරන මේ 30 හැවිරිදි ක‍්‍රීඩකයා, අවසන් මහා තරගයකදී ලෙහෙසියෙන් පරාජය කළ නොහැකි කී‍්‍රඩකයකු ලෙස කියැවෙන සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් හමුවේ විශිෂ්ට ජයක් ලබමින්
මීට වසර 25 කට පෙර ඇන්ඩි‍්‍රස් ගෝමස් තැබූ ප‍්‍රංශ ටෙනිස් කිරුළ දිනූ වයස්ගතම ක‍්‍රීඩකයාගේ වාර්තාව බිඳ දමනු ඇතැයි අනාවැකි පළකොට තිබුණේ අතළොස්සක් පමණි.

රෝලන්ඞ් ගැරෝස් පිටියට ක‍්‍රීඩාලෝලීන් එක්වූයේ ටෙනිස් ලෝකයේ අංක එකේ ක‍්‍රීඩක ඩිජොකෝවික්ගේ තනි පුද්ගල සටන්කාමීත්වය ගැන වැඩිපුර කතාබහ කරමිනි. එමෙන්ම කිසිදිනෙක ප‍්‍රංශ ටෙනිස් කිරුළක් දිනා නොසිටි ඩිජොකෝවික් ඉතා පහසුවෙන් එය ජයගෙන ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා හතරම ජයගත් ක‍්‍රීඩකයන් කිහිපදෙනා අතරට එක්වනු ඇතැයි ද ඔවුහු බලාපොරොත්තු වූහ.

තරග වට තුනකින් කතාව නිමාවට පත්වනු ඇති බවක් ද රෝලන්ඞ් ගැරෝස් පිටිය සිසාරා ඇසෙන්නට විය. එහෙත් නිරන්තරයෙන්ම අලූත් වීරයන් මැවීමට ප‍්‍රසිද්ධියක් උසුලන පැරිස් නුවර ඊයේ සිදුවූයේ විස්මිත හා පෙරළිකාර සිදුවීමකි.
මෙවර තරගාවලිය ආරම්භයේ සිටම වැඩි අවධානයක් දිනා සිටි ඩිජොකෝවික් හමුවේ වර්වින්කා පළමු වට දෙක ජයගනිද්දී අලූත් වීරයා ගැන කසුකුසුවක් පැතිරී යන්නට විය. තුන්වැනි වටය ඩිජොකෝවික් පහසුවෙන් ජයගත් විට ඒවා එතරම් ගණන් ගත යුතු බවක් කාටත් පෙනෙන්නට තිබුණේද නැත.

අන්තිමේ දී පැය තුනකුත්, මිනිත්තු 12ක් පුරා විහි දී ගිය මේ අවසන් තරගයේ සිවුවැනි වටය වැඩි කළබළයකින් තොරව ජයගත් වර්වින්කා ලොව හොඳම ටෙනිස් ක‍්‍රීඩකයාට අමිහිරි අත්දැකීමක් උරුම කරදුන්නේය.
එපමණක් නොව අර්ධ අවසන් පූර්ව වටයේ දී තමා වෙතින්ම පරාජයට පත්වූ සිය රටේහිම සුපිරි ක‍්‍රීඩක රොජර් ෆෙඩරර් ගැන බලාපොරොත්තු තබා සිටි ක‍්‍රීඩාලෝලීන්ටද සාධාරණයක් ඉටු කරමින් ස්විට්සර්ලන්තයේ ජාතික ගීය වාදනය කරවන්නට සැලස්සුවේය.

”මම කවදාවත් නැති තරමින් හැගීම්බර වුණා. අද මම තරග වැදුණේ දිවි පරදුවට තියලයි. මට තවම හිතාගන්න බෑ කොහොමද මම ඒක කළේ කියලා”

ජයග‍්‍රහණයෙන් පසුව වර්වින්කා එසේ කියද්දී පරාජිත ඩිජොකෝවික් කියා සිටියේ ”මේ පරාජය හැමදාම මගේ සිතට වදදේවි” කියාය.

අවසන් වරට පැවැති ප‍්‍රංශ විවෘත ශූරතා තරගාවලි 10 දී (2006 සිට) අට වතාවක්ම ශූරතාව දිනාගන්නා ලද්දේ ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් විසිනි. 2009 දී ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ප‍්‍රංශ විවෘත ශූරතාව දිනාගත් අතර 2015 දී ස්විට්සර්ලන්තයේ ස්ටැන් වර්වින්කා ශූරයා විය.

 


අදහස් (0)

වර්වින්කා ප‍්‍රංශ විවෘත ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.