Last Update  :  2024-05-17 16:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලෝක කුසලාන 16න් 12ක්ම ඕස්ට්‍රේලියාවට

ලෝක කුසලාන 16න් 12ක්ම ඕස්ට්‍රේලියාවට

editorial - 2023 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දොළොස් වැනි වතාවටත් ලෝක කුසලානය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (6) දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදී සමත් විය. ඒ, එහිදී එදින නිමාවට පත්වූ 16වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහ තරගයෙන් එංගලන්තය ලකුණු 71-45කින් පරාජයට පත් කරමිනි.

රටවල් 16ක් සහභාගි වූ මෙම තරගාවලියේදී එක් ජයග්‍රහණයකට පමණක් සීමා වීමෙන් ශ්‍රී ලංකාවට තරගාවලියේ අත්වූයේ අවසන් (16 වැනි) ස්ථානයයි.

මෙවර තරගාවලියේ පෙරැළිකාර සිදුවීම වූයේ, ගිය වර කුසලානය දිනාගත් නවසීලන්තය සිව් වැනි ස්ථානය දක්වා පහළට වැටීමයි. පෙරේදා පැවැති තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදි ජැමෙයිකාව හමුවේ නවසීලන්තය ලකුණු 52-45ක පාරාජයක් ලැබීය.

1963 දී ආරම්භ වූ මෙම තරගාවලිය මෙතෙක් පැවැති අවස්ථා 16දීම ඕස්ට්‍රේලියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වීමෙන් වසර 60ක් තරම් වන කාලයක් අඛණ්ඩව ඔවුන් ලෝක දැල්පන්දු පිටියේ හිමි කරගෙන තිබෙන විශිෂ්ටත්වයේ මහිමය කියාපාති.

1975 ඔක්ලන්ඩ්හි පැවැති තරගාවලියෙන් පසුව ලෝක කුසලාන අවසන් මහ තරගයකට නිර්දේශ ලබා ගැනීමට එංගලන්තය සමත් වීම මෙවර තරගාවලියේ වූ තවත් සුවිශේෂී සිදුවීමකි. එවර ද එංගලන්තය පරාජය වී ඇත්තේ ඕස්ට්‍රේලියාවටය.

අවසන් මහ තරගයේදී ලකුණු 13/13, 14/10, 19/13, 15/09ක් පරිදි වට තුනකදීම පෙරමුණ ගනිමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ලෝක දැල්පන්දු කුසලානය දිනා ගත්හ. ජැමෙයිකාව අවසන් වරට 2007 ඕක්ලන්ඩ් තරගාවලියේදී තෙවැනි ස්ථානය තේරීමේ තරගය ජය ගෙන ඇත.

ගියවර (2019) ලිවර්ෆූල් තරගාවලියේදී සිව් වැනි ස්ථානයේ පසු වූ සත්කාරක දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ හය වැනි ස්ථානය ලැබීය.

ඒ අතර, ආසියාවෙන් තරගාවලියට ඉදිරිපත් වූ සෙසු රට වන සිංගප්පූරුව විසින් ශ්‍රී ලංකාව දෙවතාවක්ම පරාජය කිරීමෙන් තරගාවලියේ අත්කරගත්තේ 15 වැනි ස්ථානයයි.

ප්‍රතිවාදිනියන්ට එරෙහිව කණ්ඩායමක් ලකුණු 100 ඉක්මවා ගිය තරග දෙකක් කේප්ටවුන් තරගාවලියේදී වාර්තා විය. මූලික වටයේ තරගයකදී ජැමෙයිකානු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව ලකුණු 105-25කට පරාජය කළහ. දෙවැන්න ඕස්ට්‍රේලියාව වෙතින් පීජි දූපත් ලකුණු 101-32කට පරාජය කෙරුණු තරගයයි.

ප්‍රතිවාදිනියකට එරෙහිව කණ්ඩායමක් මෙම තරගාවලියේදී වැඩිම ලකුණු ලබාගත් තරගය ලෙසත් ජැමෙයිකා-ශ්‍රී ලංකා තරගය වාර්තාගත වේ. කෙසේ වුවත්, මෙවර 14 වැනි තැනට පත් බාබඩෝස් ලකුණු හතරකින් (60-56) ශ්‍රේණිගත තරගයකදී පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.

මීළඟට නියමිත 2027 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී සත්කාරය ඕස්ට්‍රේලියාවේ ‘සිඩ්නි’ නගරයට හිමිව තිබේ. ආසියානු කුසලාන දිනාගත් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන විට ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 15 වැනි ස්ථානයේ පසු විය. ලෝකයේ අසම හා ජ්‍යෙෂ්ඨතම දැල්පන්දු ක්‍රීඩිකාව වන 44 හැවිරිදි තර්ජනි ෂිවලිංගම්ගේ සේවය මෙවර ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකාවට ලැබුණි. ඒ, ඇයගේ සිව් වැනි ලෝක කුසලාන තරගාවලි සහභාගිත්වයයි.


අදහස් (0)

ලෝක කුසලාන 16න් 12ක්ම ඕස්ට්‍රේලියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.