Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලක්ෂ පහත් කහ කමිසයත් පැතුම්ට

ලක්ෂ පහත් කහ කමිසයත් පැතුම්ට

editorial - 2024 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දින පහක් පුරා අදියර පහකින් කොළඹ සිට යාපනය දක්වා කිලෝමීටර 654 ක් ගෙවා අවසන් වූ 25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ රුපියල් ලක්ෂ පහක ත්‍යාගයක් හිමි වූ සමස්ත තරගයේ ජයග්‍රාහකයා ලෙස යුද හමුදා ක්‍රීඩක පැතුම් සම්පත් වීරසිංහ කහ කමීසය දිනා ගත්තේය.

එහිදී ඔහු කිසිඳු අදියරක ජයග්‍රාහකයෙකු නොවුවත් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයට පත් නාවික හමුදා  ක්‍රීඩක ප්‍රභාෂ් සිල්වාට වඩා තත්පර 18 ක වාසියක් අත්කර ගනිමින් මෙම පළපුරුදු ක්‍රීඩකයා මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය ජය ගත්තේ කිලෝමීටර 654 ක මුළු දුර පැය 15 විනාඩි 21 තත්පර 32 ක කාලයක් තුළ දී සම්පූර්ණ කරමිනි.

මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය පෙරේදා (7) යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණය අසලින් නිමාවට පත් විය. එදින සවාරිය නිමාවට පත් කරමින් වවුනියාව සිට යාපනය දක්වා කිලෝමීටර 147.4 ක දුරකට පැවැති අදියර (අවසන්) - 5 තරගය ජය ගත්තේ පොලිස් ක්‍රීඩක ෂෙනාල් චමෝද්ය. ඒ පැය 3 විනාඩි 19.51 කට එකම වේලාවට තරගය අවසන් කළ තරගකරුවන් 50 දෙනෙකු අතරිනි.

කොළඹ දී සමස්ත තරගයේ ආරම්භයට තරගකරුවන් 128 දෙනකු සහභාගී වූවත් යාපනයේ දී මුළු තරගය නිමාවට පත් කළේ ඔවුන්ගෙන් 71 දෙනකු පමණි.

මෙවර පාපැදි සවාරියේ අවසානය ගැන අදහස් දැක්වූ එහි ප්‍රධාන අධීක්ෂණ නිලධාරී ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරි ආරච්චිගේ මහතා පැවැසුවේ වඩාත්ම සාර්ථකව මෙවර සමස්ත තරගය අවසන් කිරීමේ දී ධාවකයන්ගේ වේගය පැයට කිලෝමීටර 42.99 ක ඉහළම අගයක් ගත් බවයි.

මෙවර යාපනයේදී සමස්ත තරගය අවසන්වන විට ගිය වර (2023) ගුවන් හමුදා පාපැදි සවාරිය ජය ගත් යුද හමුදා ක්‍රීඩක තුෂාන් දයානන්දන 26 වැනි ස්ථානය දක්වා (පැය 15 විනාඩි 26 තත්පර 36) පහළ ස්ථානයකට පත්ව සිටියේය.

මේ අතර මෙරට දැනටත් ක්‍රියාකාරිව  සිටින ජ්‍යෙෂ්ඨතම පාපැදි ක්‍රීඩකයකු වන සාග් රන් පදක්කම්ලාභී ජීවන් ජයසිංහ මෙවර තරගයේ සමස්ත ප්‍රතිඵලයට අනුව 56 වැනි ස්ථානයට පත්ව තිබුණි. ඒ කිලෝමීටර 654 ක මුළු දුරට පැය 15 විනාඩි 30 තත්පර 39 ක කාලයක් ගෙවමිනි.

මෙවර පාපැදි සවාරියට ඉන්දිය ගුවන් හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සිවු දෙනෙකු සහභාගිවූ අතර ඉන් ක්‍රිෂ්ණා නායකොඩි සමස්ත  තරගයේ 13 වැනි ස්ථානයට පත්විය.

වවුනියාවෙන් පෙරේදා  ආරම්භ වූ අවසන් අදියර තරගයේදී මැදවච්චිය පසුකිරීමත් සමග ධාවන මාර්ගයට ගවයෙකු  කඩා වැදීමෙන් ඇතිවූ අනතුරකින් ක්‍රීඩකයෙකුට තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

මේ අතර මාන්කුලම් සිට යාපනය දක්වා පෙරේදා සමගාමීව පැවැති කිලෝමීටර් 98ක් දුරැති කාන්තා පාපැදි  සවාරියේ ජය හිමිවූයේ නාවික හමුදා ක්‍රීඩිකා ඈන් ෂෙනාලි සිල්වාටය. දෙවැනි තැනට පත් ගුවන් හමුදා ක්‍රීඩිකා දිනේෂා දිල්රුක්ෂි හා තියුණු තරග නිමාවකින් පසුව ඇය තරගය ජය ගත්තේ පැය 2 විනාඩි 55.0ටය. දිනේෂාගේ තරග නිමි කාලයත් එයම වන අතර තෙවැනි ස්ථානය හිමි වූයේ පැය 2 විනාඩි 55 ත්ත්පර 02කට යුදහමුදා ක්‍රීඩිකා මධුමාලි ප්‍රනාන්දුටය. තරගකාරියෝ 21 දෙනෙක් මෙවර තරගයට සහභාගි වූහ.

 

25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පස්වැනි (අවසන්) අදියර (තරගයේ 10 වැනි ස්ථානය දක්වා වවුනියාවේ සිට යාපනය දක්වා  කිලෝමීටර් 147.4)

1. ෂෙනාල් චමෝද් - පොලිසිය පැය 3 විනාඩි 19 තත්පර 51)
2. පසිදු තිසේරා (යුද හමුදාව 3.19.51) 
3. ක්‍රිෂ්ණා නායකොඩි (ඉන්දීය ගුවන් හමුදාව 3.19.51)
4. සාරංග  පෙරේරා (යුද හමුදාව 3.19.51)
5. සඳරුවන් පින්තු (යුද හමුදාව 3.19.51)
6. තරිඳු අචින්ත මීමනගේ (දෙහිවල ගල්කිස්ස 3.19.51) 
7. අවිෂ්ක මැඩොන්සා (යුද හමුදාව 3.19.51) 
8. ජීවන් ජයසිංහ ස්ටෙෆන්ලි 3.19.51
9. අරුණ කුමාර (යුද හමුදාව 3.19.51)
10. නිරෝෂන් මධුශංඛ කුමාර (දෙහිවල - ගල්කිස්ස 3.19.51)

 

අදියර සහ තරග මාලාව අවසානයේ සමස්ත තරගයේ 10 වැනි ස්ථානය දක්වා (මුළුදුර කිලෝමීටර 654).

1. පැතුම් සම්පත් වීරසිංහ (යුද හමුදාව පැය 15 විනාඩි 21 තත්පර 32)
2. ප්‍රභාෂ් සිල්වා (නාවික හමුදාව 15.21.50)
3. මනුෂ් නිහාර (පොලිසිය 15.22.09)
4. නිරෝෂන් මධුශංඛ කුමාර (දෙහිවල ගල්කිස්ස 15.22.09)
5. අචින්ත රුක්මල් (යුද හමුදාව 15.22.15) 
6. උමේෂ් වීරසිංහ (කදිරාන ස්පීඩ් 15.22.19)
7. හරිදු අචින්ත මීමනගේ (දෙහිවල ගල්කිස්ස 15.22.22)
8. සචින් මධුවන්ත (ගුවන් හමුදාව 15.22.24)
9. ගිහාන් ලක්මාල් (දෙහිවල ගල්කිස්ස 15.22.25)
10. සජිත් පතිරන්නැහැලාගේ (ස්ටෙෆන්ලි 15.22.25).

 

වේගවත්ම (ස්ප්‍රින්ට්) ක්‍රීඩකයා තේරීමේ ශූරතා සම්මානය

1. පසිඳු තිසේරා (යුද හමුදාව – ලකුණු 38)
2. ක්‍රිෂ්ණා නායකොඩි (ඉන්දිය ගුවන් හමුදාව - 31)
3. ප්‍රභාෂ් සිල්වා (නාවික හමුදාව – 22)

 

කණ්ඩායම් ශූරතාව

1. යුද හමුදාව (පසිඳු තිසේරා - සාරංග පෙරේරා - සඳරුවන් පින්තු)
2. දෙහිවල – ගල්කිස්ස කණ්ඩායම (හරිඳු අචින්ත මීමනගේ - නිරෝෂන් මධුශංඛ කුමාර - ගිහාන් ලක්මාල්)
3.  පොලිස් කණ්ඩායම / ෂෙනාල් චමෝද් - මනුජ නිහාර – බුද්ධි ජයමාන්න

 

කඳු තරණයේ ශූරතාව -

1. රොවිඳු නමුදිත සොයිසා (දෙහිවල – ගල්කිස්ස ලකුණු 20)
2. සුරංග රණවීර (දෙහිවල – ගල්කිස්ස – 09)
3. පැතුම් සම්පත් වීරසිංහ (යුද හමුදාව – 05).

25 වැනි  ගුවන් හමුදා පාපැදි සවාරිය ජයගත් යුද හමුදා ක්‍රීඩක පැතුම් සම්පත් වීරසිංහ යාපනයේ දී පැවති ජය සංකේත ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලංකා  ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතින් ශූරතා කුසලාන ලබාගත් අයුරු.

 

 

කාන්තා ඉසව්ව ජයගත් නාවික හමුදා ක්‍රීඩිකා ඈන් ෂෙනාලි පෙරේරා යාපනයේ දී පැවති ජය සංකේත ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලංකා  ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතින් ශූරතා කුසලාන ලබාගත් අයුරු.


අදහස් (0)

ලක්ෂ පහත් කහ කමිසයත් පැතුම්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.