Last Update  :  2025-05-05 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලක්ෂ 14 ක තෑගි මල්ලට ක්‍රීඩකයන් 200 ක් ‍තරග බිමේ

ලක්ෂ 14 ක තෑගි මල්ලට ක්‍රීඩකයන් 200 ක් ‍තරග බිමේ

editorial - 2022 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුපියල් 14,57,500 ක් (ලක්ෂ දහහතර හමාරක්) සල්ලි මල්ලක් වෙනුවෙන් තරගකරුවන් 200 දෙනෙක් තරග වදින 23 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය සිකුරාදා (4 වැනිදා) කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින් පෙරවරු 8.30 ට ආරම්භ වීමට නියමිතය. ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංඥාවෙන් තරගයේ ආරම්භය සනිටුහන් වනු ඇත.

අදියර 3 කින් සහ කිලෝ මීටර් 411.2 ක දුරකින් සමන්විත වන මෙවර පැපැදි තරගය 6 වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුර අසලින්ම නිමාවට පත්වීමට නියමිතය.

කිලෝ මීටර් 123.8 ක දුරකින් සමන්විත පළමු අදියර හෙට දිනයේදී ක්‍රියාත්මක වන අතර එහිදී තරගකරුවන්ට කොළඹ සිට වත්තල, මීගමුව, මාරවිල සහ හලාවත හරහා පුත්තලම දක්වා ගමන් කිරීමට සිදුවනු ඇත.

තරගයේ දෙවැනි අදියර 5 වැනිදා (සෙනසුරාදා) පුත්තලමින් ආරම්භවන අතර කරුවලගස්වැව, නොච්චියාගම, අනුරාධපුර, ගල්කුලම සහ කැකිරාව පසුකර දඹුල්ල දක්වා කිලෝ මීටර් 142 ක දුරක් ගමන් කිරීමෙන් එම අදියර නිමාවට පත්වේ. 6 වැනිදා දඹුල්ලෙන් ආරම්භ වන තෙවැනි අදියර ඕමාරගොල්ල, මැල්සිරිපුර, කුරුණෑගල, නාරම්මල, කුලියාපිටිය, පන්නල, දංකොටුව සහ මීගමුව හරහා කටුනායක දක්වා ක්‍රියාත්මක වේ. එහි දුර ප්‍රමාණය කිලෝ මීටර් 145.4 කි.

කොවිඩ් ප්‍රති එන්නතක මාත්‍රා දෙකම ලබාගෙන ඇති තරගකරුවන්ට පමණක් මෙවර තරගය සඳහා සහභාගි විය හැකිය.  සියලුම ක්‍රීඩකයන් තරගයට පෙර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කිරීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති. ජාතික විනිසුරු උශාන් කෝදාගොඩ මහතා මෙවර තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කරන අතර සෙසු විනිසුරුවරුන් ලෙස අනිල් සිල්වා, භද්‍ර රංජනී, දිනිදු ගුණසේකර, සුදේශ් සිල්වා, වසන්තා කහපොලආරච්චි යන මහත්ම මහත්මීහු කටුයුතු කරති.

තරගයට පෙර ප්‍රබල පාපැදි කණ්ඩායම් සියල්ලම පාහේ තරගය පැවැත්වෙන මාර්ගයේ පුහුණුවීම්වල නිරත වූ අතර ඉන් අනතුරුව ගුවන් හමුදා පාපැදි කණ්ඩායම සීගිරිය ගුවන් හමුදා කඳවුරේදීද, යුද හමුදා කණ්ඩායම උඩවලව යුද හමුදා කඳවුරේදීද, නාවික හමුදාව අනුරාධපුර නාවික හමුදා කඳවුරේදීද නේවාසික පුහුණු සැසිවලට සහභාගි වූහ. වරාය අධිකාරිය, පොලිසිය, දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව සහ කුරුණෑගල ෆන්බී යන කණ්ඩායම්ද තරගය පැවැත්වෙන මාර්ගයේ පුහුණුවීම් කර ඇතැයි වාර්තා වේ.

 ගුවන් හමුදාවේ සංජු දීමන්ත, නිදුශ් නිරන්ත, ජිවන් ජයසිංහ, බුද්දික වර්ණ්කුලසුරිය සහ ඩේන් නුගේරාද, යුද හමුදාවේ අවිශ්ක මැඩොන්සා, තුශාන් රාජපක්ෂ, නිරාන් පසිදු සහ පැතුම් සම්පත්ද, නාවික හමුදාවේ ජානක හේමන්ත සහ ප්‍රබාෂ් මධුශකද, පොලිසියේ සුදීර නිලංග සහ උපුල් ලොකුගේද, වරාය අධිකාරියේ සජිත් හසන්ත, විරාන් රමේශ්, චමොද් ද සිල්වා සහ ගිහාන් පුෂ්පකුමාරද, දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ චතුර මදුෂාන් සහ නිශාන්ත පෙරේරාද, කුරුණෑගල ෆන්බී කණ්ඩායමේ චාමික සදුන් කුමාර සහ දර්ශන ප්‍රසාද්ද මෙවර තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටිති.

මෙවර පාපැදි සවාරියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 6 වැනිදා පස්වරු 5.00 සිට කටුනායක ඊගල්ස් ලැගූන් හෝටලයේදී ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වේ. එහිදී තරගයේ ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂ 3 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් ලක්ෂ 2 ක සහ ලක්ෂයක මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇත.

සිවුවැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා රුපියල් 60,000 ක්, 40,000 ක්, 30,000 ක්, 20,000 ක් සහ 15,000 ක් බැගින් පිරිනැමෙන අතර නමවැනි සහ 10 වැනි ස්ථාන සඳහා රුපියල් 10,000 බැගින් පිරිනැමීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ. එම ත්‍යාගවලට අමතරව තරගයේ වේගවත්ම ක්‍රීඩකයාට සහ දක්ෂතම ‍යොවුන් ක්‍රීඩකයාට (වයස 23 න් පහළ) රුපියල් 40,000 බැගින් වූ මුදල් ත්‍යාග හිමිවනු ඇත.

 කණ්ඩායම් ශූරතාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 2 ක් ප්‍රදානය කෙරෙන අතර කණ්ඩායම් අනු ශුරයන්ට රුපියල් 1,25,000 ක් තිළිණ කෙරේ. එක් කණ්ඩායමකට උපරිම වශයෙන් ක්‍රීඩකයන් 10 එක්කර ගත හැකි අතර අවම ක්‍රීඩක සංඛ්‍යාව 4 කි. එක් ක්‍රීඩා සමාජයකින් ඉදිරිපත් කළ හැක්කේ එක කණ්ඩායමකි.

අබාන්ස් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ලංකා බැංකුව, මැලිබන් සමාගම, පීපල්ස් රක්ෂණ සමාගම තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරති.

ජාතික රූපවාහිණියේ අයි නාලිකාව ඔස්සේ තරගාවලිය ආරම්භයේ සිට අවසානය දක්වාම සජීවීව විකාශනය කෙරේ.

 

- 040


අදහස් (0)

ලක්ෂ 14 ක තෑගි මල්ලට ක්‍රීඩකයන් 200 ක් ‍තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.