Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රිදී පදක්කම් 6 ක් දිනූ ශ්‍රී ලංකාවට අනුශුරතාව

රිදී පදක්කම් 6 ක් දිනූ ශ්‍රී ලංකාවට අනුශුරතාව

Nisanka Sandeepani - 2017 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු කනිෂ්ඨ (වයස 18 න් පහළ) සහ අධුනික (වයස 15 න් පහළ) මේසපන්දු ශූරතාවලියේදී රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගත් ශ්‍රී ලංකාවට එහි අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. එම රිදී පදක්කම් 6 න් 4 ක් කණ්ඩායම් ඉසව් වලදීද, දෙකක් යුගල ඉසව් වලදීද දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ලෝකඩ පදක්කම් 7 හිමිවූයේ කේවල ඉසව් වලිනි. 

බාලක කනිෂ්ඨ, බාලිකා කනිෂ්ඨ, බාලක අධුනික සහ බාලිකා අධුනික යන වයස් කාණ්ඩ යටතේ මෙහිදී කණ්ඩායම් තරග පැවැත්විණ. බාලක කනිෂ්ඨ, බාලිකා කනිෂ්ඨ, බාලක අධුනික සහ බාලිකා අධුනික යන කාණ්ඩය යටතේ එහි කේවල තරග පැවැති අතර යුගල තරග පැවැතියේ බාලක කනිෂ්ඨ සහ බාලිකා කනිෂ්ඨ යන කාණ්ඩ යටතේය. 

ඉහත සඳහන් කාණ්ඩ සියල්ලේම රන් පදක්කම් දිනාගත් ඉන්දියාව තරගාවලියේ සමස්ත ශූරතාවට හිමිකම් කීවේය. එම රන් පදක්කම් 10 ට අමතරව රිදී පදක්කම් 4 ක් දිනාගැනීමටද ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව ලබන ජූනි මස 29 වැනිදා කොරියාවේදී ආරම්භ වන ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට දකුණු අසියාවේ ශූරයන් සහ අනුශූරයන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමත් විය. 
දකුණු ආසියානු මේසපන්දු සම්මේලනයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ පළමු වරට සංවිධානය කළ මෙම තරගාවලිය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

තරගාවලියේ බාලක තරග සඳහා ශ්‍රී ලංකාව සමගින් ඉන්දියාව, පාකිස්තානය, මාලදිවයින, බංගලාදේශය තරග වැදුණ අතර බාලිකා තරග සඳහා ශ්‍රී ලංකාව සමගින් ඉන්දියාව, පාකිස්තානය සහ මාලදිවයින තරග වැදිණ. 

ඉකුත් වසරේදී මෙම තරගාවලිය පාකිස්තානයේ පැවැති අතර පාකිස්තානයට යෑම සඳහා විසා ලබාගැනීමේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් මත ඉන්දියාව එම තරගාවලියට සහභාගි නොවීම නිසා එහිදී රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

ශ්‍රී ලංකාවට හිමිවූ පදක්කම් 

රිදී පදක්කම් 

■    කනිෂ්ඨ බාලක යුගළ - දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල) සහ දිෂංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල)
■    කනිෂ්ඨ බාලිකා යුගළ - හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) සහ ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) 
■    කනිෂ්ඨ බාලක කණ්ඩායම - දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල), දිෂංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල), විරුණක හෙන්දහේවා (කොළඹ රාජකීය විදුහල) සහ නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) 
■    කනිෂ්ඨ බාලිකා කණ්ඩායම - හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල), ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), තනුෂි රොද්‍රිගෝ (මහනුවර මහාමායා විදුහල) සහ චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) 
■    ආධුනික බාලක කණ්ඩායම - චන්දූප අලහකෝන් (මහනුවර කිංස්වුඞ් විදුහල), තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) සහ දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) 
■    ආධුනික බාලිකා කණ්ඩායම - ඩී. එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහල), ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) සහ සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහල) 

ලෝකඩ පදක්කම් 

■    කනිෂ්ඨ බාලක කේවල - දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල) සහ දිෂංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල)
■    කනිෂ්ඨ බාලිකා කේවල - හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) සහ ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) 
■    අධුනික බාලක කේවල - චන්දූප අලහකෝන් (මහනුවර කිංස්වුඞ් විදුහල)
■    අධුනික බාලිකා කේවල - ඩී. එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහල) සහ ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) 

 


අදහස් (0)

රිදී පදක්කම් 6 ක් දිනූ ශ්‍රී ලංකාවට අනුශුරතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.