Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මහනුවරට 38-22 ක පහසු ජයක්

මහනුවරට 38-22 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලිය යටතේ මහනුවර තිත්තවෙල ක්‍රිඩා පිටියේදී පැවැති මහනුවර ක්‍රීඩා සමාජ පිලත් සී.ඒ. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජ පිලත් අතර රග්බි තරගයෙන් ලකුණු 38-22ක ජයක් වාර්තා කිරීමට ප්‍රබල මහනුවර පිල සමත් විය.

මහනුවර පිල මෙම තරගයේදී ද ප්‍රසාද ලකුණු ලබා ගැනීමට සමත් වූ අතර ඒ අනුව තරගාවලියේ පස්වැනි සතිය නිමා කරනවිට මහනුවර පිල සහභාගී වූ තරග පහේම ප්‍රසාද ලකුණු ද සමගින් ජය වාර්තා කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

තරග විනිසුරු ප්‍රනීත් වේරංගගේ ප්‍රථම නළා හඬින් තරගය ආරම්භ වී විසිහත්වැනි විනාඩිය දක්වා තිත්තවෙල ක්‍රීඩා පිටියේ තම අණසක පතුරුවමින් ලකුණු පුවරුවේ ඉදිරියෙන් සිටීමට සී.එච්. ක්‍රීඩකයන් සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ජයග්‍රාහී මහනුවර ක්‍රීඩකයන් ගෝල දිනුම් හතරක් හා උත්සාහක දිනුම් දෙකක් මගින් ලකුණු රැස්කළ අතර ඩී.එම්. ක්‍රීඩකයන් ගෝල දිනුම් දෙකක්, එක් උත්සාහයක දිනුමක් හා දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේය.
ප්‍රථම අර්ධය නිමා වනවිට ලකුණු 19-08ක් ලෙස මහනුවර පිල ඉදිරියෙන් විය.

තරගය ආරම්භ වී පස්වැනි විනාඩියේදී සී.එච්. පිලේ වින්ත්‍රි ක්‍රීඩක අනුරාධ හේරත් මහනුවර ක්‍රීඩකයන් අන්දමන්ද කරමින් මහනුවර පිලේ ඉදිරි ආරක්ෂක පවුර කඩාගෙන ගොස් දර්ශනීය උත්සාහයක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්ථනය සැමුවෙල් මධුවන්තගේ පාදයෙන් ගිලිහී ගිය බැවින් ලකුණු 5-0ක් ලෙස ප්‍රථමයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවීමට සී.එච්. ක්‍රීඩකයෝ සමත් වූහ. දොළොස් වැනි විනාඩියේදී මහනුවර ක්‍රීඩකයන් සී.එච්. තහනම් කලාපයට පැමිණීම හේතුවෙන් මීටර හතළිහ සීමාවේදී ලද දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු 8-0ක් ලෙස ඉදිරියට පැමිණීමට සී.එච්. ක්‍රීඩකයන් සමත් විය. දහඅටවැනි විනාඩියේදී පන්දුව අතිනත යැවූ මහනුවර පිලේ ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්ථනය තිළිණ විජේසිංහගේ පාදයෙන් සාර්ථක කර ගන්නාවිට ලකුණු තත්ත්වය 8-7ක් වශයෙන් සී.එච්. පිල ඉදිරියෙන් විය.

විසිහත්වැනි විනාඩියේදී තම ජයග්‍රාහී ගමන ආරම්භ කරමින් මහනුවර පිලේ නායක රිචඞ් ධර්මපාල විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය ද තිළිණ විසින් සාර්ථක කරගන්නා ලදී.

තිස්හතරවැනි විනාඩියේ මහනුවර පිලේ බුවනෙක උඹන්ගමුව සී.එච්. ලකුණු සීමාවට ඇතුළු වීමට සමත් වූ අතර එහි ප්‍රවර්ථනය ද තිළිණ විජේසිංහ සාර්ථක කරගන්නාවිට ප්‍රථම අර්ධය නිමාවීමේ නළා හඬ නිකුත් වූ අතර එවිට ලකුණු තත්ත්වය 19-08ක් ලෙස මහනුවර පිල ඉදිරියෙන් විය.

දෙවැනි අර්ධය ආරම්භ වී දහතුන්වැනි විනාඩියේදී සී.එච්. පිලේ ප්‍රසාද් වීරසිංහ විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය ද සැමුවෙල් විසින් සාර්ථක කරගන්නා ලදී. දහවැනි විනාඩියේදී සී.එච්. මීටර් හතළිහ සීමාවේදී පන්දුව සුරතට ගත් මහනුවර පිලේ ධනුෂ්ක රන්ජන් තනිව දිවගොස් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය ද සාර්ථක විය. විසිතුන්වැනි විනාඩියේදී සී.එච්. පිලේ ප්‍රසාද් මධුරංග උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය ද සාර්ථක විය. විසිහයවැනි විනාඩියේදී මහනුවර පිලේ අර්ෂාඞ් ජමාල්ඩින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය අසාර්ථක විය. තිස්පස්වැනි විනාඩියේදී සුපුරුදු වේගවත් ක්‍රීඩා ශෛලියට අවතීර්ණ වූ මහනුවර ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ශෂික ජයවර්ධන විසින් වාර්තා කරනලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය තිලිණ සාර්ථක කරගත්තේය.
 


අදහස් (0)

මහනුවරට 38-22 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.