Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ප්‍රධානීන් ලැයිස්තුවෙන් අතුරුදන්

ප්‍රධානීන් ලැයිස්තුවෙන් අතුරුදන්

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ්කෝස්ට් නුවරදී ලබන අප්‍රේල් 4 වැනිදා ආරම්භ වන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩා ඇමැතිවරයා අනුමැතිය දුන් නිල ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික ඔලිම්පික් කමිටුව නිර්දේශ කළ කණ්ඩායම් ප්‍රධානියා හා නියෝජ්‍ය ප්‍රධානියා ඇතුළත් වී නැත.

ඒ සඳහා පිළිවෙළින් නිර්දේශ කර තිබුණේ ගාමිණී ජයසිංහ හා සුමිත් එදිරිසිංහ යන මහත්වරුන්ය. ඔවුන් නියෝජනය කරන බව ප්‍රකාශ වී තිබූ  ශ්‍රී ලංකා හොකී සම්මේලනය මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය අත්හිටුවා තිබෙන බැවින් එසේ ඔවුන්ට සංචාරය සඳහා අනුමැතිය ලබාදීම ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රතික්ෂේප කිරීම එම තත්ත්වයට හේතු වී තිබේ.

කෙසේ වුවත් ගාමිණී ජයසිංහ මහතා ‘ලංකාදීප’යට මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සංචාරයට සහභාගි වීමට තමාට කිසිදු තහනමක් නැති බවත්, තමන් ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරන්නේ අත්පන්දු (හෑන්ඞ් බෝල) ජාතික සංගමයේ නිලධාරියකු ලෙස බවත්ය.

කෙසේ වුවත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා හා නියෝජ්‍ය ප්‍රධානියා ක්‍රීඩා ඇමැතිවරයකු විසින් වාරණයට ලක් කළ පළමු අවස්ථාව ලෙස එය සැලකේ.

ඔලිම්පික් කමිටු ආරංචිමාර්ග සඳහන් කරන්නේ, එම නිලධාරීන් දෙදෙනා නිරීක්ෂක නිලධාරීන් ලෙස සංචාරයට එක් කිරීමට ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙන බවයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 118 දෙනකුගෙන් සමන්විත මෙවර පොදුරදමඬුලු ක්‍රීඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියාගේ වගකීම් ඒ අනුව එහි කළමනාකරු චන්දන බී. ලියනගේ මහතාට පවරා තිබේ.

ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන නිලධාරියා ලෙස චන්දන පෙරේරා මහතාත්, ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස සුනිීතා උදයකුමාරි වීරසිංහ මහත්මියත් පරිපාලන නිලධාරිනිය ලෙස ඔලිම්පික් කමිටුවේ කාර්ය මණ්ඩලයේ සේවය කරන කෞෂල්‍යා දන්තනාරායන මෙනවියත් මෙවර සංචාරයේදී ප්‍රධාන නිලධාරීන් ලෙස කටයුතු කරති.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නිමවා යළි දිවයිනට පැමිණීමෙන් පසුව දින 10ක් ඇතුළතදී ක්‍රීඩා අමාත්‍යාංශයට ඒ පිළිබඳව සහතික කිරීමටත්, ඊට සහභාගි වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් රුපියල් මිලියනයක් බැගින් වන ඇපයකට අත්සන් තබන ලෙසත් සිය අනුමැතිය ලබාදීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය ඔවුන්ට නියෝග කර තිබේ. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ ලංකාදීප කළ විමසුමකදී පැවසුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 32 දෙනකුට පමණක් මෙවර ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුග්‍රහය ලබාදුන් බවයි. ඉතිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් රැසකගේ සංචාරයේ වියදම් ජාතික ඔලිම්පික් කමිටුව විසින් දරන බව ද වාර්තාවේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට එම දෙපාර්ශ්වයම අනුග්‍රහය දැක්වූ පළමු අවස්ථාව මෙය වන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අතර ගෝල්ඞ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකා නිල කණ්ඩායමට ක්‍රීඩිකාවෝ 29 දෙනෙක් හා ක්‍රීඩකයෝ 50 දෙනෙක් ඇතුළත්ව සිටිති.

ඒ මෙසේය: රිද්මයානුකූල ජිම්නාස්ටික් 3, මලල ක්‍රීඩා 13, බැඞ්මින්ටන් 08, වෙරළ වොලිබෝල් 02, බොක්සිං 06, පාපැදි (මාර්ග) 02, දිය පිනුම් 02, ජිම්නාස්ටික් 01, රග්බි (සත් සාමාජික) 11, ඉලක්කයට වෙඩි තැබීම 03, ස්කොෂ් 02, පිහිනුම් 06, මේස පන්දු 06, බර ඉසිලීම් 11, මල්ලවපොර 03, සංචාරක සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ වසර 2006 මෙල්බර්න් නුවර දී හා 2010 නවදිල්ලි නුවර දී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පිළිවෙළින් රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා ගත් චින්තන ගීතාල් විදානගේය. ඔහු මෙවර කිලෝග්‍රෑම් 77 බර පංතියෙන් ක්‍රීඩා උළෙලට සහභාගි වේ.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට මෙවර ක්‍රීඩා උළෙල පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ, ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු මෙවර අවම මට්ටමක පැවැතියත් සහභාගිත්වයේ ඉහළම දස්කම් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අපේක්ෂා කරන බවයි.

ක්‍රීඩා උළෙලට සමගාමීව එහි දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඇමැතිවරුන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා ඇමැති දයාසිරි ජයසේකර මහතා ලබන අප්‍රේල් 5 වැනිදා සිට 8 වැනිදා දක්වා එහි ගත කර යළි දිවයිනට පැමිණීමට නියමිතය.
බ්‍රිතාන්‍ය යටත්විජිත ලෙස එකල කල් ගෙවූ රටවල් හා ජාතීන් 71ක් මෙවරත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වේ. එය ලබන අප්‍රේල් 15 වැනිදා දක්වා පැවැත් වේ.

 


අදහස් (0)

ප්‍රධානීන් ලැයිස්තුවෙන් අතුරුදන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.