Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජොකොවික් ලෝක වාර්තාව හඹායයි

ජොකොවික් ලෝක වාර්තාව හඹායයි

editorial - 2021 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් පසුකර යමින් ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයා බවට පත්වීමේ අරමුණින් යුතුව ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවික් මෙවර ඇමරිකානු විවෘත ‍තරගාවලියට සහභාගි වෙයි.

ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය මේ මස 30 වැනිදා සිට සැප්තැම්බර් 12 වැනිදා දක්වා නිව්යෝක් නුවරදී පැවැත්වෙයි.
 
ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 9 ක්, විම්බල්ඩන් ශූරතා 6 ක්, ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සහ ප්‍රංශ විවෘත ශුරතා 2 ක් සමගින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනා සිටින ජොකොවික්, මෙවර ඇමරිකානු විවෘත ශූරතාව දිනාගැනීමට සමත් වුවහොත්, ඔහුට එදා මෙදා තුර ටෙනිස් ඉතිහාසයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා බවට පත්වීමේ අවස්ථාව හිමිවනු ඇත.  

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 ක් බැගින් දිනා සිටින රොජර් ෆෙඩරර් සහ රෆායෙල් නඩාල් දෙදෙනාම විවිධ ආබාධ හේතුවෙන් මෙවර ඇමරිකානු විවෘත ශූරතාවලියට ඉදිරිපත් නොවෙති.

විම්බල්ඩන් ශුරතා 8 ක්, ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 6 ක්, ඇමරිකානු විවෘත ශුරතා 5 ක් සහ එක් ප්‍රංශ විවෘත ශූරතාවක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට රොජර් ෆෙඩරර් සමත්ව සිටියි. රෆායල් නඩාල් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට සමත්ව ඇත්තේ ප්‍රංශ විවෘත ශූරතා 13 ක්, ඇමරිකානු විවෘත ශුරතා 4 ක්, විම්බලඩන් ශූරතා 2 ක් සහ එක් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවක් සමගිනි.

මෙම වසරේදී (2021) මෙතෙක් පැවැති ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලි තුනෙහිම ශූරයා බවට පත්වූ ජෙ‍ාකොවික්, ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී තරමක පසුබෑමක් පෙන්නුම් කළේය. එහිදී අවසන් පූර්ව වටයේදී ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස‍රව් හමුවේ පරාජයට පත්වූ ඔහු, ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී ස්පාඤ්ඤයේ බුස්ටා පැබ්ලෝ කැරෙනෝ හමුවේද පරාජයට පත් විය.

ඔලිම්පික් උළෙලේදී රන් ටෙනිස් පදක්කම දිනාගැනීමට නොහැකි වීමත් සමග ‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවකට හිමිකම් කීමට තිබූ දුර්ලභ අවස්ථාවද ජො‍කො‍වික්ට අහිමිවිය. ඔලිම්පික් උළෙලින් අනතුරුව කෙටි විවේකයක් ගත් ජොකොවික්, මෙම තරගාවලියේදී යළිත් වරක් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට සූදානමින් සිටියි.

වසරේ අවසන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලිය වන ඇමරිකානු විවෘත ‍ටෙනිස් තරගාවලියේ මූලික වටයේ තරග අනිද්දා (30 වැනිදා) නිව්යෝර්ක් නුවරදී ආරම්භ‍ වේ. එහි සුදුසුකම් ලැබීමේ තරග මේ මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැති අතර එහිදී ජය ලබා මූලික වටයට සුදුසුකම් ලබාගත් ඩෙන්මාර්කයේ හෝල්ගර් රූනිට එරෙහිව සැප්තැම්බර් 1 වැනිදා ජොකොවික් තරග බිමට පිවිසීමට නියමිතය.

සිය ප්‍රබලම ප්‍රතිවාදීන් දෙදෙනා වන රොජර් ෆෙඩරර් සහ රෆායල් නඩාල් මෙවර ඇමරිකානු විවෘත ශූරතාවලියට සහභාගි නොවීම‍ එහි ශූරතාව කරා යන ගමනේදී ජොකොවික්ට තරමක් වාසි දායක වනු ඇත. කෙසේ වුවත් ඔලිම්පික් උ‍ළෙලේදී තමාව පරාජය කළ ඇලෙක්සැන්ඩර් ස‍රව් සහ බුස්ටා පැබ්ලෝ කැරෙනෝ දෙදෙනා මෙම තරගාවලියටද එක්ව සිටීම ජොකොවික්ගේ අභියෝගය වඩාත් තියුණු කරවන්නකි.

අවසන් වරට පැවැති ඇමරිකානු විවෘත ශූරතාවලිය ජයගත් ඕස‍්ට්‍රේලියාවේ ඩොමිනික් තීම් ආබාධයක් ‍‍හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගි නොවීම නිසා මෙවර එහි ශූරතාව විවෘතව පවතී. ජොකොවික්ට සහ සරව්ට අමතරව ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතර සිටින ඩැනීල් මෙඩ්වෙඩෙව් (රුසියාව), ස්ටෙෆානස් සිට්සිපාස් (ග්‍රීසිය), ඇන්ඩ්‍රි රුබ්ලෙව් (රුසියාව), මාටියෝ ‍බෙරටීනි (ඉතාලිය) සහ ඩෙනිස් ශපොවාලොව් (කැනඩාව) වැනි ප්‍රබල ක්‍රීඩකයන්ද මෙවර තරගාවලියට සහභාගිවීම නිසා එහිදී තියුණු තරගකාරීත්වයක් බලාපොරොත්තු විය හැකිය.

මෙවර තරගාවලියේදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතර බෙදා දීමට නියමිත මුලු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 57.5 ක් වන අතර ඉන් පිරිමි කේවල ශූරතාව දිනාගන්නා ක්‍රීඩකයාට හිමිවන ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.5 කි. ඩොලර් මිලියන 2.5 ක් යනු ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 50 ඉක්මවන්නකි.


 

-036
 


අදහස් (0)

ජොකොවික් ලෝක වාර්තාව හඹායයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.