Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජිබ්‍රෝල්ටාවේදී ලබන මස (සැප්තැම්බර්) 19 වැනිදා ආරම්භ වන නව වැනි ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය මේ දක්වා නිල වශයෙන් සනාථ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර නැතැයි වාර්තාවේ. ඒ හේතුවෙන් ඒ සදහා වන ශ්‍රී ලංකාවේ සූදානම්වීමේ කටයුතු ද මේ වන විට ඇණහිට ඇතැයිද වාර්තාවේ.
කෙසේවූවත් මීට පෙර වාර්තා වූයේ තරගාවලියට සූදානම් වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ නවාතැන් පහසුකම් සදහා ජිබ්‍රෝල්ටාවේදී හෝටලයක්ද වෙන් කර ගත් බවයි.
වසර 2024 මැයි 30 වැනිදා සිට පරිපාලන ආරවුල් හේතුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට කටය්‍රතු කළ ක්‍රීඩා අමාත්‍යාංශය ඒ වෙනුවට තාවකාළිකව මෙරට දැල්පන්දු පරිපාලනය පවත්වා ගෙන යාමට මැදිහත්ව සිටියි.
දකුණු කොරියාවේදී පසුගිය ජූලි 4 වැනිදා නිමාවට පත්වූ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී තෙවැනි ස්ථානය ලබා පෙරළා දිවයිනට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ පුහුණුවීම් මෙතෙක් ආරම්භ කිරීමට කටයුතු කර නැත. ජිබ්‍රෝල්ටාවේදී පැවැත්වීමට නියමිත ලෝක යොවුන් දැල්පන්දු තරගාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මෙතෙක් දක්වා තිබෙන බව කියන ඇල්මැරුණු උනන්දුව තුළ එම තරග සංචාරය අත් හැර දමා තිබෙන තත්වයක් දැනටමත් පළ කර තිබෙන බව දැල්පන්දු ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේවූවත් මෙම තරග සංචාරයට ශ්‍රී ලංකාව සහභාගි වන්නේද නැතහොත් සංචාරය අත්හිටුවන්නේද යන්න පිළිබදව ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ (6) වන තෙක් නිල වශයෙන් සනාථ කර නොතිබීමෙන් ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා නිලධාරීන් දැඩි කණස්සල්ලට පත්ව සිටිති.
ශ්‍රී ලංකාව ජිබ්‍රෝල්ටා (2025) ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියට නිර්දේෂ ලබා ගත්තේ දකුණු කොරියාව විසින්ම සත්කාරය දැරූ 2023 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වීමෙනි. එහිදී ශූරතාව, අනුශූරතාව හා තෙවැනි ස්ථානය ලබන කණ්ඩායම් තුනම ආසියානු කලාපයෙන් ඒ සදහා නිර්දේෂ ලබයි.
ශ්‍රී ලංකාව තරගාවලියට සහභාගිවීමට අපොහොසත් වන්නේ නම් එකගතාවය සම්පූර්ණ කිරීමට අපොහොසත්වීමේ වරදට හසුවීමෙන් ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනයේ දඩයකට යටත්වීමට සිදු වනු ඇතැයිද වාර්තාවේ.
කෙසේවූවත් තරග සහභාගිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තීරණය නිල වශයෙන් ප්‍රකාශවී නැතත් නව වැනි ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියේ නිල තරග කාල සටහන තවමත් වෙනස් නොවී පවතී. ශ්‍රී ලංකාව එයින් ඉවත් වන්නේ නම් ආසියානු කලාපයෙන් හොං කොං රාජ්‍යයට තරගාවලියට ඇතුළත් වීමේ අවස්ථාව හිමිව තිබේ.
හොං කොං 2023 ආසියානු යොවුන් තරගාවලියේ සිව් වැනි ස්ථානය ලද කණ්ඩායමයි.
ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ ජිබ්‍රෝල්ටා සංචාරය සදහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුව තිබෙන බැවින් ඒ පිළිබදවද අවධානය යොමු කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් මෙසේ ඇල්මැරුණු උනන්දුවකින් කටයුතු කිරීමට පෙළඹී සිටින බවද වැඩි දුරටත් වාර්තාවේ.
ඒ අතර ක්‍රීඩා අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන අන්දමට ජිබ්‍රෝල්ටා තරග සංචාරය අත් හැර දැම්මිට දැනටමත් නිල නොවන තීරණයක් ගෙන තිබේ. සැප්තැම්බර් 28 වැනිදා දක්වා පැවැත්වෙන ජිබ්‍රෝල්ටා ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියේ ලීග් තරග වටයේදී සී කාන්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව එංගලන්තය සමග සැප්තැම්බර් 20 වැනිදා සිය පළමු තරගයට සහභාගි වීමට නියමිතය.
අනතුරුව වේල්සය, ජැමෙයිකාව හා ටොංගා රාජ්‍යය සමග තවත් තරග තුනකට පිළිවෙලින් සැප්තැම්බර් 21, 22 සහ 24 යන දිනවලදී ශ්‍රී ලංකාව තරග වදියි.
අවසන් වරට බොට්ස්වානා හිදී පැවැති (2017 දී) ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව රටවල් 20 කින් 19 වැනි ස්ථානය ලබා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.