Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔසාකා බර්ලින් තරගාවලියෙනුත් ඉවත් වෙයි

ඔසාකා බර්ලින් තරගාවලියෙනුත් ඉවත් වෙයි

editorial - 2021 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මානසික සෞඛ්‍ය හේතුන් නිසා මාධ්‍ය සාකච්ඡා වලට සහභාගි විය නොහැකි බව කියමින් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වූ ජපානයේ නයෝමි ඔසාකා, ලබන සතියේදී බර්ලින්හිදී පැවැත්වෙන ජර්මානු විවෘත ටෙනිස් තරගාවලියටද සහභාගී නොවන බව එම තරගාවලියේ සංවිධායකයෝ තහවුරු කරති.

තණකොළ සහිත මතුපිටකදි පැවැත්වෙන ලොව ප්‍රධාන පෙළේ  ටෙනිස් තරගාවලියක් ලෙස සැලකෙන ජර්මානු විවෘත තරගාවලිය මේ මස 14 වැනිදා බර්ලින්හිදී ආරම්භ වීමට නියමිතය. විම්බල්ඩන් තරගාවලියත් තණකොළ සහිත මතුපිටකදී පැවැත්වෙන හෙයින් ජර්මානු විවෘත තරගාවලියට ලොව පුරා ප්‍රධාන පෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වෙති.

“ඔසාකා බර්ලින්හිදී  තරග බිමට පිවිසිය නොහැකි බවට අපිට දැනුම්දීමක් ලැබිලා තිබෙනවා. ඇගේ කලමණාකාරීත්වයේ උපදෙස් මත ඇය කෙටි විවේකයක් ලබාගනු ඇතැයිද එහි සඳහන් වෙනවා.” යැයි ජර්මානු විවෘත ටෙනිස් තරගාවලියේ සංවිධායකයෝ පවසති.‍

තමා නැවතත් තරග බිමට පිවිසෙන කාලවකවානුවක් පිළිබඳව ඔසාකා කිසිදු සඳහනක් ‍කර නොතිබීම නිසා මේ වන විට ටෝකියෝ ඔලිම්පික් ‍උළෙලට මෙන්ම විම්බල්ඩන් ශූරතාවලියටද ඇගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. විම්බල්ඩන් ශූරතාවලිය මේ මස 28 වැනිදාද, ඔලිම්පික් උළෙල ජූලි මස 23 වැනිදාද ආරම්භ වීමට නියමිතය.

ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 2 ක් සහ ඇමරිකානු විවෘත ශූරතා 2 ක් සමගින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 කට හිමිකම් කියන 23 හැවිරිදි ඔසාකා මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ 2 වැනි ස්ථානයේ පසුවන්නීය. මෙවර ප්‍රංශ විවෘත ශූරතාවලියේදී මාධ්‍ය සාකච්ඡා සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇය කතාබහට ලක්වූවාය.

එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ විවෘත තරගාවලියේ සංවිධායකයන් ඔසාකාට ඇමරිකානු ඩොලර් 15,000 ක දඩයක් නියම කළ අතර තරගාවලියේ නීති රීතිවලට ගරු නොකිරීම හේතුවෙන් ඇයව තරගාවලියෙන් ඉවත් කරන බවටද තර්ජනය කළේය. ඔසාකා තරගාවලියෙන් ඉවත්වීම සඳහා එයද දැඩි ලෙස බලපෑ බව වාර්තා විය.

ඉකුත් සෙනසුරාදා ඉන්ස්ටග්‍රෑම්හි  පණිවුඩයක් තබමින් මානසික අවපීඩනය සහ කාංසාව සමග තමාගේ අඛණ්ඩ සටන පිළිබඳව ලොවට ‍හෙළි කළ ඔසාකා, එමගින් සිය ආධාරකරුවන්ට ස්තූතිය පුද කිරීමටද අමතක නොකළාය.

-036


අදහස් (0)

ඔසාකා බර්ලින් තරගාවලියෙනුත් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.