Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එල්ලේ විනිසුරු සංගමයේ සැර බාල වෙයි

එල්ලේ විනිසුරු සංගමයේ සැර බාල වෙයි

editorial - 2024 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා එල්ලේ විනිසුරු සංගමයේ කල් ඉකුත් වූ නිලවරණය ඉක්මනින් කැඳවීම සඳහා ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එහි විධායක සභාව ලෙස තවදුරටත් කටයුතු කරන නිලධාරීන් එකඟ වී තිබේ.

ඒ සඳහා මේ වන විට එල්ලේ ක්‍රීඩාව සුරැකීමේ සංවිධානයේ වත්මන් සභාපති සිරිල් පෙරේරා සහ එහි ලේකම් සිරිපාල රණසිංහ යන මහත්වරුන් ද ඇතුළත් සාමාජිකයන් හත් දෙනකුගේ කමිටුවක් පත් කරගැනීමට එල්ලේ විනිසුරු සංගමය කටයුතු කර තිබේ. මින් පෙර කල් ඉකුත්ව තිබියදීත් එල්ලේ විනිසුරු සංගමයේ ක්‍රියාකාරී නිලධාරීන් ලෙස පෙනී සිටි අය ප්‍රකාශ කළේ, සිය සංගමයට බලපෑම් කිරීමට එල්ලේ සම්මේලනයට නොහැකි බවත්, එය ස්වාධීන සංගමයක් වන බවත්ය.

මෙම අදහස ඔවුන් ගෙනහැර දැක්වූයේ, වසර දෙකක නිල කාලයකින් පසුව එල්ලේ විනිසුරු සංගමයේ ඊළඟ නිලවරණය පැවැත්විය යුතු වුවත්, එය වසර කිහිපයකින්ම ප්‍රමාද වීමෙන් පසුව ඒ පිළිබඳව වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස එල්ලේ සම්මේලනය කළ දැනුවත් කිරීමෙන් පසුවය.

ඒ පිළිබඳව එල්ලේ සම්මේලනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැමිණිලි කිරීමෙන් පසුව ඔහු උපදෙස් දී තිබුණේ, දෙපාර්ශ්වය එක්වෙමින් මීළඟ නිලවරණය පවත්වා අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි.

කෙසේ වුවත්, විනිසුරු සංගමයේ නිලධාරීන් මේ වන විට සිය මතය වෙනස් කරගැනීමෙන් පසුව එය සාර්ථක කරගැනීම සඳහා පත් කළ සිරිල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම කොන්දේසි මාලාවක් මත ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. එල්ලේ සම්මේලනය සහ විනිසුරු සංගමය අතර ඇති වෙමින් තිබූ මෙම විරසකය වැඩි දියුණු වූ සිදුවීම් කිහිපයක් ද මේ අතර වාර්තා වී තිබුණි.

එල්ලේ විනිසුරු සංගමය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයන් මත මෑතකදී එහි නිලධාරීන් ලෙස පෙනී සිටින්නන් කඳාන හෝටලයකදී කැඳවා තිබූ රැස්වීමක් නීති විරෝධී යයි එල්ලේ සම්මේලනයේ ප්‍රධානියකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ සිදුවීමක් ද මේ අතර වාර්තා විය.

මෙම තත්වය මත එම ස්ථානයේ කැඳවා තිබූ එම රැස්වීම එයින් ඉවත් කර, අසල විහාරස්ථානයකදී පැවැත්වීමට ඔවුන්ට සිදු වූ බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා එල්ලේ විනිසුරු සංගමයේ නිලවරණය පැවැත්වීම කල් ඉකුත් වන අවස්ථාවන්හිදී එය කැඳවීම සඳහා විධාන කිරීමේ බලය සම්මේලනයේ ව්‍යවස්ථාවෙන්ම එල්ලේ සම්මේලනයට හිමි වුවත්, එය පිළිගැනීම විනිසුරු සංගමයේ නිලධාරීන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම මෙම දෙපාර්ශ්වය අතර පැන නැගුණු අර්බුදයට හේතු වී තිබේ.

 


අදහස් (0)

එල්ලේ විනිසුරු සංගමයේ සැර බාල වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.