Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඉන්දීය නැඟී එන පිල කඩුලු 6කින් ජයගනියි

ඉන්දීය නැඟී එන පිල කඩුලු 6කින් ජයගනියි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ සිවුවැනි තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය නැඟී එන කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 41.1 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. අහමඞ් බට් විසින් යවන ලද ඉන්දීය ඉනිමේ 41 වැනි ඕවරයේ පළමු පන්දුව හතරේ සීමාව වෙත යැවූ නායක සිම්රන් සිං ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. පන්දු 27 ක මුහුණුදුන් සිම්රන්, එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 28 කි.

ආරම්භක පිතිකරු අන්කුෂ් බායින්ස් (83) සහ හිම්මත් සිං (63) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 159 කදී ලකුණු 128 ක අගනා සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 98 කදී වාර්තා වූ අන්කුෂ්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 84 කදී වාර්තා වූ හිම්මත්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමාන් කණ්ඩායම ඕවර 44.2 ක් අවසානයේ ලකුණු 203 කට සීමා කිරීමට ඉන්දීම පන්දු යවන්නෝ සමත් වූහ. පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සිමාව පසුකර යැමටත් පෙර දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් අකීබ් ඉල්ලියාස්, පන්දු 122 කදී හතරේ පහර 14 ක් සමගින් ලකුණු 117 ක් රැස්කළේය.

නායක සීෂාන් මක්සූද් (17) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉල්ලියාස්, ඉන් නොනැවතී මොහොමඞ් නදීම් (21) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕමාන් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මායන්ක් මාර්කන්ඬේ ලකුණු 41 කට කඩුලු 4 ක් දවාගනිමින් ඕමාන් පිතිකරුවන් අසරණ කළේය. නායක ජයන්ට් යාදව් ලකුණු 33 කට කඩුලු 3 ක්ද, අටිට් ශේත් ලකුණු 31 කට කඩුලු 2 ක්ද දවාගනිමින් ඕමාන් ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා මාර්කන්ඬේට අනගි සහායක් දුන්හ.


ඕමාන් නැඟී එන කණ්ඩායම - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 203
(අකීබ් ඉල්ලියාස් 117, සීෂාන් මක්සූද් 17, අජේ ලාල්චෙටා 25, මොහොමඞ් නදීම් 21, මායන්ක් මාර්කන්ඬේ 41/4, ජයන්ට් යාදව් 33/3, අටිට් ශේත් 31/2)

ඉන්දීය නැඟී එන කණ්ඩායම - ඕවර 41.1 කදී කඩුලු 4 ක් දැවී 206
(අතර්වා තායිඬේ 18, අන්කුෂ් බායින්ස් 83, හිම්මත් සිං 63, සිම්රන් සිං නොදැවී 28, ජයේෂ් ඔඬේරා 38/3)


-036

 


අදහස් (0)

ඉන්දීය නැඟී එන පිල කඩුලු 6කින් ජයගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.