ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබ සිටි සවිනි ජයසූරිය, ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත අවසන් මොහොතේදී යළිත් කණ්ඩායමට ඇතුළත් කිරීමට ජාතික ඔලිම්පික් කමිටුවට සිදුවී තිබේ.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායම අද (16 වැනිදා) උදෑසන ඉන්දුනීසියාව බලා පිටත්ව ගිය අතර අවසන් මෙහොතේ යළිත් කණ්ඩායමට ඇතුළත් වූ සවිනි, කණ්ඩායම සමග එක්වීම සඳහා හෙට (17 වැනිදා) උදෑසන දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබුණි.
ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවන ටෙනිස් කණ්ඩායම තෝරා ගැනීම සඳහා ජාතික ටෙනිස් තේරීම් කමිටුව සංවිධානය කළ තේරීම් තරගාවලියේදී කාන්තා කණ්ඩායමේ අංක 2 ක්‍රීඩිකාව ලෙස තේරී සිටි සවිනි ජයසූරිය, තරගාවලියේ අවසන් තේරීම් නිර්දේශ කළ ජාතික තේරීම් කමිටුව විසින් කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබ තිබිණ.
ටෙනිස් තේරීම් කමිටුව නම් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 ක් දක්වා අඩු කිරීමේදී කාන්තා කණ්ඩායමේ දෙවැනි ක්‍රීඩිකාව ලෙස නම් කරනු ලැබ සිටි සවිනි ජයසූරිය කණ්ඩායමෙන් ඉවත් කර, ඇය වෙනුවට තේරීම් තරගාවලියට සහභාගි නොවූ එහෙත් කණ්ඩායමේ තෙවැනි ක්‍රීඩිකාව ලෙස නම් කරනු ලැබ සිටි අනීකා සෙනෙවිරත්න දෙවැනි ක්‍රීඩිකාවගේ ස්ථානයට ආදේශ කිරීමට ජාතික තේරීම් කමිටුව එහිදී පියවර ගෙන තිබිණ.
එම සිදුවීමෙන් සම්බන්ධයෙන් ජාතික තේරීම් කමිටුවට සහ ඔලිම්පික් කමිටුවට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට සවිනි ජයසූරියගේ දෙමාපියන් පියවර ගෙන තිබූ අතර එම නඩුව විභාග කිරීමෙන් අනතුරුව සවිනි නැවතත් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවන කණ්ඩායමට ඇතුළත් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
අධිකරණය එසේ නියෝගයක් ලබා දී තිබියදීත් එම ක්‍රීඩිකාව යළිත් කණ්ඩායමට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් නොදැක්වූ බවට ජාතික ඔලිම්පික් කමිටුවට පාර්ශව කිහිපයකින්ම චෝදනා එල්ල වූ අතර අවසානයේදී ඇය යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාටම මැදිහත් වීමට සිදුවිය.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගෙන් ‘ලංකාදීප’ය අද පස්වරුවේ කළ විමසුමකදී ඔහු කියා සිටියේ අදාල ක්‍රීඩිකාව යළිත් කණ්ඩායමට ඇතුළත් කරන ලෙසත්, තරගාවලියට සහභාගි වීම සඳහා ඇයට අවශ්‍ය නිල ක්‍රීඩා ඇඳුම සහ සෙසු පහසුකම් ලබාදෙන ලෙසත් තමා ඔලිම්පික් කමිටුවට දැනුම්දුන් බවයි.
“ඒ ළමයාගේ දෙමාපියන් මාව මුණගැහෙන්න ඇවිත් වෙච්ච දේවල් ගැන මට කිව්වා. මේ ප්‍රශ්නයට අධිකරණයෙන් තීන්දුවක් දීල තියෙනවා. අපිට අධිකරණ තීන්දුවකට පිටින් යන්න බෑ. ඒ නිසයි අවසන් මෙහොතෙදි හරි ඒ ළමයාව තරගාවලියට සහභාගි කරවන්න කියලා මම ඔලිම්පික් කමිටුවට උපදෙස් දුන්නේ.” යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසීය.
සවිනි ජයසූරිය යළිත් කණ්ඩායමට ඇතුළත් කරන ලෙස අමාත්‍යවරයා ඔලිම්පික් කමිටුවට උපදෙස් ලබාදී තිබුණද, ඇයට තරගාවලියට සහභාගිවීම සඳහා අවශ්‍ය නිල ක්‍රීඩා ඇඳුම ලබා දීමට ඔලිම්පික් කමිටු නිලධාරීන් පසුබට වූ බව ඇගේ දෙමාපියෝ පවසති. නිල ක්‍රීඩා ඇඳුම ලබා ගැනීම සඳහා ඔලිම්පික් කමිටුව වෙත ගිය සවිනිගේ දෙමාපියන්ට ඔලිම්පික් කමිටු නිලධාරීන් පවසා ඇත්තේ ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයාගේ හෝ ලේකම්වරයාගේ දැනුම් දීමකින් තොරව එම ඇඳුම නිකුත් කළ නොහැකි බවයි.
පසුව ඒ සම්බන්ධයෙන් ඇගේ දෙමාපියන් ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම්දී ඇති අතර එම දැනුම් දීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඔලිම්පික් කමිටුව වෙත පැමිණ එහි නිලධාරීන්ට දෝෂාරෝපණය කර සිටිමින් පසුව ඇයට තරගාවලියට සහභාගි වීම සඳහා අවශ්‍ය නිල ක්‍රීඩා ඇඳුම ලබා දීමට ඔලිම්පික් කමිටුව පියවර තිබේ.
ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායම සහභාගි වන තරග 19 වැනිදා ආරම්භ වන අතර හෙට දිනයේදී (17) දිවයිනෙන් පිටත්ව ගිය සවිනි ජයසූරිය, එහිදී තරගවලට සහභාගිවීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් පවතින බවද වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ ලේකම් ප්‍රදීප් ගුණසේකර මහාතගෙන් කළ විමසුමකදී ඔහු ‘ලංකාදීප’යට කියා සිටියේ ආසියානු ක්‍රීඩා උළෙලේ තරග සඳහා සවිනිගේ සහභාගිත්වය පිළිබඳව තමාට නිෂ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවයි. එය තීරණය කරනු ලබන්නේ ටෙනිස් කණ්ඩායමේ කළමණාකාරිණිය සහ නායිකාව ලෙස තරගාවලියට එක්ව සිටින ශලිනි ද සිල්වා මහත්මිය විසින් බවද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.