Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු දැල්පන්දු කුසලාන සත්කාරය සෞදියට

ආසියානු දැල්පන්දු කුසලාන සත්කාරය සෞදියට

editorial - 2024 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීළඟට යෙදී තිබෙන 13 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය සඳහා සත්කාරය දැරීමට සෞදි අරාබිය ඉදිරිපත්ව තිබේ. ලබන සැප්තැම්බර් 26 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා එහිදී 13 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය පැවැත්වෙන බව මේ වනවිට ආසියානු දැල්පන්දු සම්මේලනය ප්‍රකාශ කර ඇත.

එහි සභාපතිනි ලක්‍ෂමි වික්ටෝරියා මහත්මිය ‘‘ලංකාදීප’’යට පැවසුවේ සෞදියේදී ආසියානු දැල්පන්දු තරගාවලිය පැවැත්වීමේදී ක්‍රීඩිකාවන්ගේ ශරීරය වඩාත් ආවරණය වන පරිදි ක්‍රීඩා ඇඳුම සකස් කෙරෙනු ඇති බවයි. ක්‍රීඩා සහභභාගීත්වයේදී කාන්තාවන්ට දැඩි සීමා පනවා තිබෙන දැඩි මතධාරී ඉස්ලාම් රාජ්‍යයක් ලෙස ලෝකයේ අවධානය දිනාගත් සෞදි අරාබිය ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියක් සඳහා පළමු වතාවට සත්කාරය දැරීමට ඉදිරිපත්වීම විශේෂ අවස්ථාවකි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ වත්මන් සභාපතිනිය ද වන ආසියානු දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්‍ෂමි වික්ටෝරියා මහත්මිය වැඩිදුරටත් පැවසුවේ මේ වනවිට සාමාජිකත්වය හොබවන ආසියානු සම්මේලනයේ රටවල් 21 ට මෑතකදී සෞදි අරාබියද බඳවා ගත් බවයි.

එරට දැල්පන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වනවිට ආසියානු සම්මේලනයේ මැදිහත්වීමෙන් දැල්පන්දු පුහුණුකාරිණියක් රියාද් නුවරට යොමුකර තිබෙන බවත් ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනයේ නිරීක්‍ෂණ සාමාජිකත්වය එරටට ලබාදීමට ඉකුත්දා කටයුතු කර තිබෙන බවත් ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

ඒ අතර සත්කාරය දරන සෞදි අරාබියට මීළඟ ආසියානු තරගාවලියේදී එරටින් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබේ. එය ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියක් සඳහා සෞදි අරාබිය සහභාගි වන පළමු අවස්ථාව බවට පත්වනු ඇත.

මේ දක්වා පැවැති ආසියානු දැල්පන්දු තරගාවලි දොළහක සත්කාරය දරා ඇත්තේ ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මලයාසියාව, හොංකොං, තායිලන්තය විසිනි.

වසර 2020 දී පැවැත්වීමට නියමිත තිබියදී ගෝලීය කොවිඩ් වසංගතය නිසා අවලංගු කළ ආසියානු දැල්පන්දු තරගාවලිය දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

එහිදී පසුගිය වසරේ (2022) කුසලාන ඇතුළුව ශ්‍රී ලංකාව හය වතාවක් ආසියානු දැල්පන්දු කුසලාන දිනා ඇත.


අදහස් (0)

ආසියානු දැල්පන්දු කුසලාන සත්කාරය සෞදියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.