දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාව අද (21) සහභාගි වූ දෙවැනි වෙරළ වොලිබෝල් තරගයේදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දෙපළ වන ජූඞ් මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල වට 2-1 කින් කාම්බෝජ ක‍්‍රීඩකයන් වන සිම් ක්ලොර්ක් සහ ලිම් සමට් පරාජය කිරීමට සමත් වූහ.
ඉංචියොන්හි මෙම ක‍්‍රීඩා උළෙල වෙනුවෙන්ම ඉදිරිකළ වෙරළ වොලිබෝල් පිටියේ පස්වරුවේ එම තරගය පැවැත්විණි.
ජූඞ් සහ වසන්ත තෙවැනි වටයේදී අවස්ථානුකූලව පන්දුව ස්ථානගත කරමින් ලකුණු 15-12 කින් ජයග‍්‍රහණය දක්වා පැමිණියහ. එහිදී ලකුණු 10-10 ලකුණු සම වීමෙන් පැති මාරුවීමෙන් පසුව ක‍්‍රියාත්මක වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පිට පිටම ලකුණු 4 ක් ලබා ගනිමින් ජයග‍්‍රහණයට මාවත විවරකර ගත්හ.
මෙම තරගයේ ඇතැම් අවස්ථාවලදී වසන්ත රත්නපාල පන්දුව සකසාදීමේ දුර්වතාවක් පෙන්වූ අතර එම දුර්වලතාව නොවූයේ නම් ජයග‍්‍රහණය මීට වඩා පහසුවීමට ඉඩ තිබුණි.
ශ‍්‍රී ලංකා පිල දෙවැනි වටය ආරම්භයේ සිට පෙරමුණ ගත්ත ද ලකුණු 11-10 ක් ලෙස පෙරමුණට පැමිණි කාම්බෝජ ක‍්‍රීඩකයෝ 21-18 ක් ලෙස ජය ලබමින් 1-1 ක් ලෙස සම කිරීමට සමත් වූහ.
ජූඞ් සහ වසන්ත තියුණු තරගයකින් පසුව පළමු වටය 23-21 ක් ලෙස ජය ලබමින් කාම්බෝජ ක‍්‍රීඩකයන් දෙපළට හොද අභියෝගයක් යොමු කළහ. එම වටය ආරම්භ සිට කාම්බෝජ ක‍්‍රීඩකයන් දෙපළ පෙරමුණේ සිටි අතර පළමු තාක්‍ෂණික කෙටි විවේකය වන විට ලකුණු 12-9 ක් ලෙස කාම්බෝජය ඉදිරියෙන් සිටියේය.
ජූඞ් සහ වසන්ත විවේකයෙන් පසුව 17-17 ක් ලකුණු සම කරමින් ජයග‍්‍රහණය දක්වා පැමිණීමට සමත් වූහ.
පුබුදු කුමාර සහ අසංක ප‍්‍රදීප් කුමාර අද පෙරවරුවේ සහභාගි වූ තරගයේදී ඉන්දුනිසියා ක‍්‍රීඩකයන් වන ඩියන් සහ ෆහ්රි හමුවේ වට 2-1 ක් ලෙස පරාජයට පත්වූහ.
එහිදී පුබුදු සහ අසංක පළමු වටය 23-14 ක පහසු ජයක් ලැබුවද, දෙවැනි වටය 18-21 සහ තෙවැනි වටය 10-15 ක් ලෙස පරාජයට පත්වූහ.
ශ‍්‍රී ලංකාව වෙරළ වොලිබෝල් පිල අද (21) පස්වරුවේ තවත් තරග දෙකකට සහභාගි වීමට නියමිතව තිබුණි.
ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හොකී තරගය අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.