Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්

ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්

ශනුක අරවින්ද - 2017 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නෙදර්ලන්තයේදී පැවැති ඉන්දොවන් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී රන් පදකකම් 2 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එහිදී කිලෝ ග්‍රෑම් 49 බර පංතියෙන් තරග වැදුණ හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජයේ තිවංක රණසිංහ සහ කිලෝ ග්‍රෑම් 64 බර පංතියෙන් තරග වැදුණ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ දිනිදු සපරමාදු ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනාදුන්හ. එම බර පංතිවල අවසන් මහ තරග වලදී පිළිවෙලින් ප්‍රංශ ක්‍රීඩකයකු සහ බෙල්ජියම් ක්‍රීඩකයකු පරාජය කරමින් ඔවුන් දෙදෙනා රන් පදක්කම් වලට හිමිකම් කීහ.

කිලෝ ග්‍රෑම් 52 බර පංතියේ යටතේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ එම්. වී. බණ්ඩාර රිදි පදක්කමක් හිමිකර ගත්තේය. එම බර පංතියේ අවසන් මහ තරගයේදී ඔහු ස්කොට්ලන්ත ක්‍රීඩකයකු හමුවේ පරාජයට පත් විය.

යුනිචෙලා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන් වන කෝසලා නිල්මිණි සහ කේෂානි හංසිකා පිළිවෙලින් කිලෝ ග්‍රෑම් 48 බර පංතියේ සහ කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ අවසන් මහ තරග වලට සුදුසුකම් ලබාගත්හ. එහෙත් එම බර පංතිවල අවසන් මහ තරග වලදී රුසියානු ක්‍රීඩිකාවන් හමුවේ පරාජයට පත්වීම නිසා ඔවුන්ට රිදී පදකක්ම් වලින් සෑහීමකට පත්වීමට සිදුවූහ.

කිලෝ ග්‍රෑම් 75 බර පංතියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා පොලිසියේ ශිරෝමාලා වීරරත්නද රිදී පදක්කමක් හිමිකර ගත්තාය. එහිදී ඇය 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් නෙදර්ලන්ත ශූරියක් හමුවේ පරාජයට පත් වූවාය.

නෙදර්ලන්ත බොක්සිං සංගමයේ සංවිධානයෙන් පැවැති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 7 දෙනෙකුගෙන් සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි විය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 15 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 135 ක් මෙම තරගාවලියට සහභාගි වූහ. එහිදී ප්‍රංශය, නෙදර්ලන්තය, එංගලන්තය, ස්කොට්ලන්තය, බෙල්ජියම, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ ක්‍රෝයේෂියාව වැනි ප්‍රබල රටවල් අභිබවා යමින් වැඩි දස්කම් දැක්වීමට රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙම තරගාවලියේදී හර්ෂ කුමාර, අමිල අරවින්ද, ආර්. අළුත්ගම සහ ඩයන් ගෝමස් යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළ අතර හේමන්ත වීරසිංහ මහතා කලමනාකරු ලෙස තරගාවලියට එක් විය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.