Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක් හෙට තරග බිමේ
ආසියානු 22 න් පහළ සහ යොවුන් බොක්සිං

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක් හෙට තරග බිමේ

editorial - 2025 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ දෙවැනි දිනය වන හෙට (13 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක් තරග බිමට පිවිසීමට නියමිතය. 

අද (12 වැනිදා) ආරම්භ වූ මෙම තරගාවලිය මෙම මස 23 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඊට රටවල් 26 ක් නියෝජනය කරමින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400 ක් සහභාගි වී සිටිති. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 33 කි. 

වයස 22 න් පහළ සහ යොවුන් ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි ඉසව් බර පංති 13 ක් යටතේද, කාන්තා ඉසව් බර පංති 12 ක් යටතේද පැවැත්වේ. එහිදී වයස 22 න් පහළ කාණ්ඩයේ තරග සඳහා 2003 ත් 2006 ත් අතර වසරවල උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින අතර යෙවුන් කාණ්ඩයේ තරග සඳහා සහභාගි වන්නේ 2007 සහ 2008 වසරවල උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝය. 

හෙට දිනයේදී යොවුන් කාණ්ඩයේ තරග 11 ක් පැවැත්වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ජී.එස්.සී. වර්ණකුලසූරිය කි.ග්‍රෑ. 48 බර පංතියෙන්ද, අයි.එන්.ඩී. තත්සර කි.ග්‍රෑ. 51 බර පංතියෙන්ද, වී.එස්. හෙට්ටිආරච්චි කි.ග්‍රෑ. 54 බර පංතියෙන්ද, ඒ.ඩබ්.ඒ. ජයතිස්ස කි.ග්‍රෑ. 57 බර පංතියෙන්ද, එම්.ටී. ආසිල් කි.ග්‍රෑ. 60 බර පංතියෙන්ද තරග වැදීමට සූදානමින් සිටිති. 

හෙට පැවැත්වෙන දෙවැනි තරගයේදී වර්ණකුලසූරියට එරෙහිව කිරිගිස්ථාන ක්‍රීඩක ඇනරෙලි අනර්බෙකොව්ද, තෙවැනි තරගයේදී තත්සරට එරෙහිව කසකස්ථාන ක්‍රීඩක දොසිම්සාන් ටැන්ගටාර්ද, සිවුවැනි තරගයේදී හෙට්ටිආරච්චිට එරෙහිව කසකස්ථාන ක්‍රීඩක අල්දියාර් බඛදූර්ද, හත්වැනි තරගයේදී ජයතිස්සට එරෙහිව සවුදි අරාබියේ මොහොමඩ් අල්හදරිද, අටවැනි තරගයේදී ආසිල්ට එරෙහිව ඉන්දියාවේ එම්. මෝහිත්ද තරග වදිනු ඇත. 

මෙම තරගාවලියේ වයස 22 න් පහළ කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 10 දෙනෙක්ද, ක්‍රීඩිකාවෝ 10 ක්ද තරග වදින අතර යොවුන් කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙක් තරග වදිනු ඇත. තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උමයංග මිහිරාන්ට ලබාදීමට බොක්සිං තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ඉකුත් වසරේදී (2024) කිලෝ ග්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේ ජාතික ශූරයා බවට පත්වූ 21 හැවිරිදි මිහිරාන්, එම වසරේ දෙසැම්බර් මස තායිලන්තයේ පැවැති ආසියානු බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දීමටද සමත් විය. 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක් හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.