කොළඹ 07, මේට්ලන්ඞ් පෙදෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයට යාබදව පිහිටි ආසියානු ක්‍රිකට් සංගම් කාර්යාලය පැවැති ගොඩනැගිල්ලේ ක්‍රිකට් කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමේ මුවාවෙන් කීපදෙනකුට නව රැකියා ලබාදීමට සූදානම් වන බව වාර්තා වේ.
කොළඹ පැවැති මූලස්ථානය මීට මාස දෙකකට පමණ පෙර ආසියානු ක්‍රිකට් සංගමය විසින් ඉවත් කරගන්නා ලදි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 100 ක් පමණ මුදලක් වැය කරමින් ඉදිකළ මෙම ගොඩනැගිල්ල මේ වන විට හිස්ව පවතී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෙවැනි මහලේ පැවැති ශ්‍රවණාගාරය පසුගිය පාලනය කාලයේ කඩා එහි නිලධාරීන් වෙනුවෙන් නිල කාමර ස්ථාපිත කළේය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය හමුව සහ රැස්වීම් සඳහා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ ඉදිකළ තාවකාලික කුටියක් යොදා ගැනේ.
මෙම කුටිය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල මුදලක් වැයකර ඇති නමුත් එයට සිංහල ක්‍රීඩා සමාජයට (එස්.එස්.සී.) ගෙවීමක් කළ යුතු බවත් වාර්තා වේ.
ආසියානු ක්‍රිකට් සංගමය පැවැති ගොඩනැගිල්ල තුළට ක්‍රිකට් මූලස්ථානයේ කඩා දැමූ ශ්‍රවණාගාරයේ තබා තිබූ ‘ලෝක කුසලානය ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දිනාගන්නා ලද අනෙකුත් ශූරතා සහ කුසලාන පුරවා එය කෞතුකාගාරයක් ලෙස විවෘත කිරීම ක්‍රිකට් බලධාරීන්ගේ අදහස බවට පත්ව ඇති බව වාර්තා වේ.
ආසියානු ක්‍රිකට් සංගම් කාර්යාලයේ සේවය කරමින් සුපිරි වැටුප් ලැබූ පුද්ගලයකුගේ තනතුර මේ වන විට අහිමිවී තිබීම නිසා ඔහු නව කෞතුකාගාරයේ ප්‍රධානියා ලෙස පත්කිරීමටද නියමිත බව වාර්තා වේ. තවද හිටපු ක්‍රිකට් ලොක්කෙකුගේ සමීපතමයන් කීපදෙනකු කෞතුකාගාරයේ සේවකයන් ලෙස බඳවා ගැනීමට ද සැළසුම්කර ඇති බව දැනගන්නට තිබේ.
ආසියානු ක්‍රිකට් සංගම් කාර්යාලය පැවැති ස්ථානය කිසිඳු බාදාවකින් තොරව ශ්‍රවණාගාරයක් ලෙස යොදාගත හැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෝ පවසති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.