Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බැඞ්මින්ටන් සංගමයට තහනමක්

බැඞ්මින්ටන් සංගමයට තහනමක්

ශනුක අරවින්ද - 2015 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමයේ ලෝක බැඞ්මින්ටන් සම්මේලනයට තිබූ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ලෝක බැඞ්මින්ටන් සම්මේලනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය මහතා වෙත ලිපියක් යොමුකරමින් ලෝක බැඞ්මින්ටන් සම්මේලනය ඊයේ (22 වැනිදා) මේ බව දන්වා තිබේ.

ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමයේ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධ නිල දැනුම්දීමේ පිටපතක් ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවටත් යැවීමට ලෝක බැඞ්මින්ටන් සම්මේලනය පියවර ගෙන තිබේ.

ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ ව්‍යවස්ථාවේ 13.1 වැනි වගන්තිය යටතේ ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමයේ ලෝක සමාජිකත්වය තහනම් කරන බව එම ලිපියේ සඳහන් වේ. එම ලිපියට අනුව මෙම තහනම පැනවීමට ප‍්‍රධානතම හේතු ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ ව්‍යවස්ථාව ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුකූල නොවීම සහ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ පරිපාලනයට දේශපාලන බලපෑම් එල්ල වී තිබීමයි.

ඒ අනුව ලෝක සම්මේනයේ සාමාජිකත්වය නැවතත් ලබාගන්නා තෙක් ලෝක සම්මේලනය යටතේ පැවැත්වෙන සියලූම ජාත්‍යන්තර  බැඞ්මින්ටන් තරගාවලි සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගී කරවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවේ.

මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශී‍්‍ර ලංකාවට ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ සාමාජිකත්වය අහිමි වීමේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව බාරගත යුතු බවයි.

”එගොල්ලෝ (ලෝක බැඞ්මින්ටන් සම්මේලනය) එවලා තියෙන ලියුමේ තියෙනවා මස 18 ක් කල් දීලත් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ ව්‍යවස්ථාව, ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ ව්‍යවස්ථාවට ගැළපෙන විදිහට වෙනස් කරගත්තේ නැති නිසයි මේ තීරණේ ගත්තේ කියලා. මේ ප‍්‍රශ්නේ විසඳගන්න මාස 18  ඕන නෑ. පැය 2 ක් තිබුණනම් ඇති. එත් ඔලිම්පික් කමිටුව මේ සම්බන්ධයෙන් පියවර ගන්නේ නැතිව මාස 18 ක්ම බලන් හිටපු නිසයි අපිට සාමාජිකත්වය නැති වුණේ.” යැයි සුරාජ් දන්දෙණිය මහතා පැවසීය.

දන්දෙණිය මහතා එසේ කීවද ලෝක බැඞ්මින්ටන් සම්මේලන ලිපියේ සටහන් වන්නේ ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුරූපවන පරිදි ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමයේ ව්‍යවස්ථාව සකස්කර ගැනීම ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සම්මේලනයේ ස්වාධීන කාර්යයක් බවයි.

නැවතත් ලෝක සම්මේලයේ සමාජිකත්වය ලබාගන්නේ කෙසේ දැයි ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් දන්දෙණිය මහතා මෙසේ කියා සිටියේය.

”අපිට ආයෙමත් සාමාජිකත්වය ලබාගන්න නම් මුලින්ම එගොල්ලන්ගේ (ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ) ව්‍යවස්ථාවට ගැළපෙන විදිහට අපේ ව්‍යවස්ථාව වෙනස් කරගන්න  ඕනේ. ඊට පස්සේ එයාලගේ ව්‍යවස්ථාවට අනුව නිලවරණයත් තියලා තමා අපි නැවත සාමාජිකත්වයට අයැදුම් කරන්න  ඕනේ” යැයිද ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපතිවරයා පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලෝක බැඞ්මින්ටන් පාලක මණ්ඩලයේ සාමාජික මහාචාර්ය රංජිත් ද සිල්වා මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩාවේ පරිපාලනයේ සහ ව්‍යවස්ථාවේ ඇති ගැටලූ නිසා වැඩි කල් නොගොස් ශ්‍රී ලංකාවට ලෝක සම්මේලනයේ සාමාජිකත්වය අහිමි විය හැකි බවට තමා පෙර සිටම අනතුරු ඇඟවූ බවයි.

”අපේ දැන් තියෙන ව්‍යවස්ථාව 1977 ඉදන් තියෙන්නේ. ලෝක සංගමයේ තැන්පත් කරලා තියෙන්නෙත්, කී‍්‍රඩා අමාත්‍යංශයේ තැන්පත් කරලා තියෙන්නෙත් ඒකම තමා. ඉතින් එගොල්ලෝ (ලෝක බැඞ්මින්ටන් සම්මේලනය) කියන්නේ අපි (ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය) ඒකෙ හැටියට වැඩ කරනනේ නැති නිසා තමයි මේ තීරණේ ගත්තේ කියලා” යැයි මහාචාර්යවරයා පැවසීය.

”අපේ කී‍්‍රඩා පනතේ වගන්තියක් තියෙනවා ක‍්‍රීඩා සංගමයක මොකක් හරි ප‍්‍රශ්නයක් ඇති වුණ වෙලාවකදී කී‍්‍රඩා පනතට අනුව තමා කටයුතු කරන්න  ඕනේ කියලා. එත් ලෝක සම්මේලනය ඒකට විරුද්ධයි. රටේ කී‍්‍රඩා පනතට අනුව නෙමෙයි, ඒ වෙලාවට කටයුතු කරන්න  ඕනේ ලෝක සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව කියලයි එයාලා කියන්නේ.” යැයි තවදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා කියා සිටියේය.


අදහස් (2)

බැඞ්මින්ටන් සංගමයට තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.