Last Update  :  2025-10-18 13:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බහරේන් ආසියානු යොවුන් ක්‍රීඩාවලට ලංකාවෙන් 150ක්

බහරේන් ආසියානු යොවුන් ක්‍රීඩාවලට ලංකාවෙන් 150ක්

editorial - 2025 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

බහරේන් රාජ්‍යයේදී ලබන බදාදා (22) ආරම්භ වන තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) සිට දිවයිනෙන් පිටත් වීම ආරම්භ කරයි.ඒ සදහා සහභාගි වන ශ්‍රී ලංකා කබඩි (පිරිමි) කණ්ඩායම පළමුව අද බහරේන් බලා පිටත්ව යාමට නියමිතය.මෙම තරගාවලිය ඔක්තෝබර් 31 වැනිදා දක්වා එහිදී පැවැත්වේ.

ඒ සදහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු හා පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන් 50 දෙනෙකුගෙන් සමන්විතය.වයස 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන මෙම ක්‍රීඩා උළෙලට කලාපයේ රටවල් 45 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4000 ක් ක්‍රීඩා ඉසව් 26 ක් සදහා තරග වදිති.

ශ්‍රී ලංකාව එහිදී ක්‍රීඩා ඉසව් 12 කට තරගකරුවන් සහභාගි කරවයි.මෙම තරග සංචාරය සදහා ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව එක්ව රුපියල් කෝටි 10 කට ආසන්න පිරිවැයක් දරයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ලංකාදීපයට  පැවැසුවේ මෙතරම් විශාල ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙම ක්‍රීඩා උළෙලට සහභාගි කරන්නේ පළමු වැනි වතාවට බවයි.එහිදී  ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සංචාරයේදී සිය ක්‍රීඩා හා පුහුණු අවශ්‍යතා සදහා පෞද්ගලිකවම එම දීමනාව ලබාදීමට කටයුතු කරන බවත් ඔහු එහි දී පැවසීය.

ජාත්‍යන්තර  ක්‍රීඩා උළෙලකට සහභාගි වන සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එවැනි පෞද්ගලිකව දීමනාවක් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ලබා දෙන්නේ පළමු වතාවටය.

මීට පෙර වසර 2009 සිංගප්පූරුවේදී පැවැති පළමු ක්‍රීඩා උළෙලේදී හා වසර 2013 දී චීනයේදී පැවැති  ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව විසින් රිදී හා ලෝකඩ පදක්කම් නවයක් දිනා ගෙන තිබේ.

 

බහරේන් ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගිත්වය  මෙසේය.

★මලල ක්‍රීඩා - ක්‍රීඩක ක්‍රීඩිකාාවන් 22-පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන් 06

★බැඩ්මින්ටන්- ක්‍රීඩක ක්‍රීඩිකාවන් 04 - පුහුණුකරු හා පරිවාර නිලධාරීන්  01,

★ පැසිපන්දු  - පිරිමි කණ්ඩායම  - 04 හා කාන්තා කණ්ඩායම 04 - පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන් 02,

★ බොක්සිං - ක්‍රීඩකයන් 04 -  පුහුණුකරුවන් 02,

★ විද්‍යුත් (ඊ)  ක්‍රීඩා : - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 02 - පරිවාර නිලධාරීන් - 01,

★ ගොල්ෆ් : - ක්‍රීඩකයන් 03 - ක්‍රීඩිකාවන් 01, පුහුණුකරුවන් 01,

★ කබඩි  (පිරිමි) කණ්ඩායම (ක්‍රීඩකයන් 12 - පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන් 02, කබඩි (කාන්තා) කණ්ඩායම  - (ක්‍රීඩිකාවන් 12  - පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන් 02, 

★ පිහිනුම්  - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 -, පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන් 02,

★ ටයිකොන්ඩෝ  - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 05 - පරිවාර නිලධාරීන් 03,

★ වෙරළ වොලිබෝල්   -  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 04 - පරිවාර නිලධාරීන් 02,

★ බර ඉසිළීම්  - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 03 - පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන් 02, මල්ලවපොර  - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 - පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන් 03.සමස්ත කණ්ඩායමේ පරිවාර නිලධාරීන් හා කාර්ය මණ්ඩලය - 19 - සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී  - මංජුල ප්‍රභාත් කුමාර දිසානායක, නියෝජ්‍ය කණ්ඩායම් ප්‍රධානී  - නලින් දර්ශික වැවකුඹුර, (සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් භාර නිලධාරිනියන්  02 ක්, වෛද්‍යවරුන්, භෞත චිකිත්සකවරුන්, සම්භාහකයන් හැරෙන්නට ජාතික ඔලිම්පික් කමිටුවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හය දෙනෙකුද ඇතුළත්‍්ය.

 


අදහස් (0)

බහරේන් ආසියානු යොවුන් ක්‍රීඩාවලට ලංකාවෙන් 150ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.