ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීම කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති බවත් ඒ හේතුවෙන් නිලවරණය දින නියමක් නොමැතිව කල්දැමීමට සිදුවී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි නිලවරණයට නාමයෝජනා මේ මස 14 සහ 17 දෙදින බාරගන්නා බවට ක්‍රිකට් නිලවරණ කමිටුව මෙම මස මුලදී ක්‍රීඩා සමාජවලට නිලවශයෙන් දැනුම්දී තිබුණි.
එම දින දෙකේ නාමයෝජනා බාරගෙන අඛණ්ඩව කටයුතු සිදුවූයේ නම් ලබන පෙබරවාරි මස 7 වැනිදා නිලවරණය පැවැත්වීමේ අවස්ථාව තිබුණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයකු නොමැති වීමෙන් නාමයෝජනා කැඳවීම කල්දැමීමට සිදුවී ඇති බව වාර්තා වේ.
ක්‍රිකට් ආයතනයේ ඡන්ද හිමි නාමලේඛණයට එරෙහිව දකුණු පළාත් ක්‍රිකට් සංගමය සහ කළුතර කායවර්ධන කවය නිලවරණ කමිටුවට යොමු කළ විරෝධතා සම්බන්ධයෙන් සාධාරණය ඉටු නොවුණ බව ප්‍රකාශ කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට අභියාචනා ඉදිරිපත් කර තිබේ.
එම අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විරෝධතා කමිටුවක් පත්කර නොතිබූ අතර විරෝධතා කමිටුවක් පත්කිරීමට වර්තමානයේ ක්‍රීඩා අමාත්‍යවරයකු නොමැති වීම ගැටළුවක් බවට පත්ව තිබේ.
ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා හෙට (12) නිලවරණ කමිටුව නිලවශයෙන් හමුවීමට නියමිතය බවයි.
“මම උපදෙස් දුන්නා නිලවරණ කමිටුව සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කියලා. ඉන් පසුව තමයි අපිට ඉදිරි කටයුතු පිළිබඳව තීරණයක් ගන්න වෙන්නේ” යැයි එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පසුගිය මැයි මස 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද එහිදී නිලවරණ කමිටුව පත්කිරීම පිළිබඳව ඇති වූ නීතිමය ගැටලුවක් හේතුවෙන් නිලවරණය කල්දැමීමට සිදුවිය.
ඉන් පසුව හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයසිර් මුස්තාෆා මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා නිසිබලධාරියා ලෙස පත් කරන ලදි.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පත්වා නිලධාරීන් පත්කරගැනීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ලබන පෙබරවාරි මස 9 වැනිදා දක්වා කල් දී තිබේ. ඉන් පසුව ඇතැම් විට ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ඉඩ ඇති අතර එසේ වුවහොත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉදිරි සංචාර අවදානමට ලක්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.