(නාමල් පතිරගේ )
සෞදි අරාබියේ කොහොබාර් නුවරදී නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 1 වැනිදා දක්වා පැවැත්වෙන ලෝක ශූරතා කායවර්ධන තරගාවලියට නිර්දේශ කර සිටින ක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ සදහා වියදම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ සදහා රුපියල් මිලියන අටකට වැඩි අගයක් ගන්නා වියදම් ඇස්තමේන්තුවක් කායවර්ධන සම්මේලනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබේ.
කෙසේවූවත් තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිසක් ඊයේ (12) ක්‍රීඩා අමාත්‍යාංශයේදී එහි බලධාරීන් මුණ ගැසී සාකච්ඡා කර තිබෙන නමුදු ඒ සදහා මුදල් සොයා ගැනීමේ ගැටළුව මෙතෙක් විසදී නැති බව වාර්තාවේ.
ඔවුන් ප්‍රකාශ කරන්නේ ලෝක ශූරතා තරග සංචාරයක් වන බැවින් ඒ සදහා අනුග්‍රාහය දැක්වීම ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමක් හා යුතුකමක් වන බවයි. තමන්ට අතින් වියදම් දරා ගෙන යාමට හැකියාවක් නැති බැවින් එහිදී එකම විකල්පය වන්නේ සංචාරයෙන් ඉවත්වීම බවත් ලෝක ශූරතා ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.
සහභාගිත්වය ඉදිරි දින කීපයක් ඇතුළත සනාථ කළ යුතු බවට මේ වන විට සත්කාරක සෞදි අරාබියේ තරග සංවිධායකයන් ශ්‍රී ලංකාවට දැනුම්දී තිබීමෙන් ක්‍රීඩකයන් වඩාත් ව්‍යාකූල තත්වයකට පත්ව සිටින බව වාර්තාවේ.
ලෝක ශුරතා තරග සංචාරය සදහා සහභාගි වන මෙරට ක්‍රීඩකයෙකුගේ මුළු වියදම ලෙස දක්වා ඇත්තේ ගුවන් ප්‍රවේශ පත්‍රය හැරුණු කොට යුරෝ 700 කට ආසන්න මුදලකි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මුළු වියදම් දැක්වීමේදී තරගාවලියට ඇතුළුවීමේ ගාස්තු ලෙස රුපියල් හැට දෙලක්ෂයක (6277850) මුදලක්ද, ගුවන් ප්‍රවේශපත්‍ර සදහා රුපියල් විසි එක් ලක්ෂයක්ද (2100000), වීසා ගාස්තු ලෙස රුපියල් 532000 ක්ද, තහනම් උත්තේජක පරීක්ෂාව සදහා රුපියල් 195250 ක්ද හා ශරීර ආලේපන සදහා රුපියල් 468600 ක්ද ලෙස පෙන්වා තිබේ.
ඒ හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පරිවාර නිලධාරීන් තිදෙනෙකු සදහා රුපියල් ලක්ෂ අටක් (802000) වියදම් ලෙස දක්වා තිබේ.
තරග සංචාරයට නිර්දේශ ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ බහුතරයක් ඩුබායි නුවරදී නිමාවූ ආසියානු කායවර්ධන තරගාවලියේ (2025) ශ්‍රී ලංකා පදක්කම් ලාභියෝ වෙති.
ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය ප්‍රකාශ කරන්නේ මෙම වසරට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිය සම්මේලනයට මෙතෙක් ප්‍රතිපාදන ලෙස ලැබී ඇත්තේ පසුගිය ඩුබායි ආසියානු ශූරතා තරග සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග ඇතුළුවීමේ ගාස්තුව පියවීම පමණක් බවයි.
මේ අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (රාජකාරී පැවැරුම්) වී.සුමන්තිරන් මහතා ජාතික ක්‍රීඩා සංගම් වෙත සිදු කළ දැනුම්දීමකට අනුව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යයතා සම්මේලනය විසින් එළඹෙන 2026 වසර සදහා වන දළ වියදම් ඇස්තමේන්තුවක් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබේ.
එහිදී ජාතික කායවර්ධන තරගාවලිය සදහා රුපියල් ලක්ෂ 35 ක්ද, දකුණු ආසියානු ශූරතා තරගාවලිය සදහා රුපියල් හැට ලක්ෂයක්ද, ආසියානු ශූරත තරගාවලිය සදහා රුපියල් අනූ ලක්ෂයක්ද, හා ලෝක ශූරතා තරගාවලියට රුපියල් එක් කෝටි විසි ලක්ෂයක්ද වන පරිදි එම පූර්ව දළ වියදම් ඇස්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබේ.
ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට (2025) නිර්දේශ ශ්‍රී ලංකා කණ්ඩායම
ඊ.කේ.සී.පී.අමරසිංහ, එස්.ඒ.ආර්.අයි.ප්‍රියන්ත, පී.සී.එම්.පෙරේරා, පී.ඒ.වී.බී.මුණසිංහ, ඩබ්.රංග සිල්වා, ඩබ්.පී.එන්.ලක්ෂාන්, ඩී.පී.එස්.චාමර ඩයස්, ඩබ්.ආර්.කවීන්ද, ආර්.එම්.එන්.රත්නායක, එප්.පී.මොහාන්දාස් හා කේ.එම්.එල්.එල්.ඩිල්ෂාන්.
පරිවාර නිලධාරීන් : - පුහුණුකරු : - ලයනල් කුමාර, කළමනාකරු : - වසන්‍ත ප්‍රනාන්දු හා සහය පුහුණුකරු : - ධම්මික විජේන්හේ යන මහත්වරුන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.