මැලේසියාවේ සයිබර්ජයාහි නුවරදී ආසියානු වයස 18 න් පහළ 3X3 පැසිපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා බාලක බාලිකා කණ්ඩායම් ඊයේ (24 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම තරගාවලිය හෙට (26 වැනිදා) සහ ලබන 28 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට ආසියාතික රටවල් 16 ක් සහභාගී වේ.
එහිදී ශ්‍රී ලංකා බාලක කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කොළඹ ආසියානු ජාත්‍යන්තර පාසලේ බෙන් දේවකුමාරට හිමිවී ඇති අතර නුගේගොඩ ශාන්ත ජෝෂප් බාලිකා විදුහලේ සෙලෝමි ගුණසේකර බාලිකා කණ්ඩායමේ නායකත්වය දරන්නීය.
බාලක සහ බාලිකා තරගාවලි දෙක සඳහාම මූලික වටයේදී ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ ලෙස කාණ්ඩ 4 ක් යටතේ තරග පැවැත්වෙත අතර එහිදී එක් කණ්ඩායකට කණ්ඩායම් 3 බැගින් ඇතුලත් වේ. සෑම කාණ්ඩයකම ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගන්නා අතර එතැන් සිට පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව තරග පැවැත්වේ.
මූලික වටයේ තරග වලදී ශ්‍රී ලංකා බාලක කණ්ඩායම කරිගිස්තානය සහ ජපානය සමගින් ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර බාලිකා කණ්ඩායම කසකස්තානය සහ මැලේසියාව සමගින් ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.
ශිවෂක්ති සෙල්වරාජා මහතා ශ්‍රී ලංකා කණ්ඩාමේ පුහුණුකරු ලෙසත්, ගයත්‍රි කමලාංගනී මහත්මිය බාලිකාවන් භාර නිලධාරිණිය ලෙසත් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
බාලක කණ්ඩායම -
බෙන් දේවකුමාර (කොළඹ ආසියානු ජාත්‍යන්තර පාසල) - නායක, ෂිවංග ද සිල්වා (කොළඹ ජාත්‍යන්තර පාසල), රුක්ෂාන් අතපත්තු (කොළඹ රාජකීය විදුහල) සහ රෂාන් පෙරේරා (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)
බාලිකා කණ්ඩායම -
සෙලෝමි ගුණසේකර (ශාන්ත ජෝෂප් බාලිකා විදුහල) - නායිකා, ටානියා පෙරේරා (ශාන්ත ජෝෂප් බාලිකා විදුහල), හසීනා අබ්දුල් (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) සහ සඳුලි ලියනගේ (රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.