Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අෂ්වින් - ශර්මා පර්ත් තරගයෙන් ඉවතට

අෂ්වින් - ශර්මා පර්ත් තරගයෙන් ඉවතට

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත්හිදී පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 13 දෙනා අතරට රවිචන්ද්‍රන් අෂ්වින් සහ රෝහිත් ශර්මා ඇතුළත් නොවෙති. ඇඩිලේඩ්හිදි පැවැති පළමු ටෙස්ට් තරගයේදී පන්දු රැකීමේදී පිට කොන්දේ ආබාධයකට ලක්වීම හේතුවෙන් රෝහිත් ශර්මාද, උදරයේ වම්පස මස්පිඬු ඇදීමකින් පීඩා විඳීම හේතුවෙන් රවිචන්ද්‍රන් අෂ්වින්ද විවේක ගන්වා තිබේ. 

ඇඩිලේඩි ටෙස්ට් තරගයේදී අෂ්වින්ට ඕවර 86.5 ක් යැවීමට සිදුවූ අතර එය ඔහු ටෙස්ට් තරගයකදී යැවූ වැඩිම ඕවර සංඛ්‍යාව ලෙසද සටහන් විය. එහිදී දෙවැනි ඉනිමේදී එක දිගට යැවූ ඕවර 52.5 ක්ද ඇතුළත් වූ අතර එම තරගයේදී ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 6 කි. 

මේ අතර වළලුකර අබාධයකට ලක්වීම නිසා පළමු ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ ප්‍රිත්වි ෂෝට, තවමත් එම ආබාධ තත්වයෙන් පූර්ණ සුවය ලබා නොසිටීම හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමි වී තිබේ. 

රෝහිත් ශර්මාගේ හිදැස පිරවීම සඳහා හනුමා විහාරි ඉන්දීය සංචිතයට කැඳවා සිටින අතර අෂ්වින්ගේ ස්ථානය හිමිකර ගැනීමට වමතින් දඟ පන්දු යවන්නා වන රවින්ද්‍ර ජදේජා සමත්ව සිටියි. ඉන්දීය සංචිතය වේග පන්දු යවන්නන් 5 දෙනකුගෙන් සමන්විත වන අතර ඊට ඇතුළත්ව සිටින එකම දඟ පන්දු යවන්නා වන්නේද ජදේජාය. 

ඉන්දීය පිලේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයන්ගේ මතය වන්නේ ඉන්දියාවෙන් ඕස්ටේ්‍රලියාවට ගිය ටෙස්ට් කණ්ඩායමක සිටි හොඳම වේග පන්දු යවන්නන් කිහිප දෙනා ඉන්නේ වත්මන් ඉන්දීය කණ්ඩායමේ බවයි. ඉෂාන්ත් ශර්මා, මොහොමඞ් සාමි, ජස්ප්‍රීට් බුම්රා, බුවනේෂ්වර් කුමාර් සහ උමේෂ් යාදව් වත්මන් ඉන්දීය පිලේ සිටින වේග පන්දු යවන්නෝ වෙති. 

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් තරගය හෙට (14 වැනිදා) පර්ත්හිදී ආරම්භ වීමට නියමිතය. 


දෙවැනි ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ඉන්දීය සංචිතය 

විරාට් කෝලි (නායක), මුරලි විජේ, ලෝකේෂ් රාහුල්, චෙතේෂ්වර් පුජාරා, අජින්ක්‍යා රහනේ, හනුමා විහාරි, රිෂබ් පාන්ට්, රවින්ද්‍ර ජදේජා, ඉෂාන්ත් ශර්මා, මොහොමඞ් සාමි, ජස්ප්‍රීට් බුම්රා, බුවනේෂ්වර් කුමාර් සහ උමේෂ් යාදව් 

-036 


අදහස් (0)

අෂ්වින් - ශර්මා පර්ත් තරගයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.