ජාතික දැල්පන්දු සංචිතයට උස ක්‍රීඩිකාවන් නිර්දේශ කෙරෙන අන්තර් ක්‍රීඩා සමාජ සමස්ත ලංකා (වයස 21ක් පහළ විවෘත) දැල්පන්දු තරගාවලිය මෙ සති අන්තයේදී (22-23) කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙම තරගාවලියට සහභාගී වන ක්‍රීඩිකාවන් අතුරින් දක්ෂයන් එළඹෙන වසරේදී (2017) ශ්‍රී ලංකාව සහභාගී වන අන්තර් ජාතික දැල්පන්දු තරගාවලි දෙකකට නම් කෙරෙන පුහුණු සංචිත සඳහා නිර්දේශ කිරීමටත් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ.
කණ්ඩායම් 40 කට වැඩි ගණනක් මේ වනවිටත් තරගාවලියට සහභාගි වන බව සනාථ කර තිබෙන බවත් කෙසේ වුවත් 22 වැනිදා තරගාවලිය ආරම්භ වීමට පෙර පෙරවරු 7 තෙක්ද ඊට සහභාගිවීමට අපේක්ෂා කරන කණ්ඩායම් වලින් අයදුම්පත් බාර ගන්නා බවත් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී යසා රාමචන්ද්‍ර මහත්මිය ‘ලංකාදීප’ යට පැවසුවාය.
මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය සෙනසුරාදා පෙරවරු 9.00 ට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. තරගාවලියේ මූලික වටය කාණ්ඩ බෙදා ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර අවසන් වටය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වේ. අවසන් මහ තරගය ඉරිදා පස්වරු 3.30 ට ආරම්භ වේ.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂ එම්.කේ.සී. ලෝරන්ස් මහතා සහභාගී වේ.
වසර 2017 මැයි 14 වැනිදා සිට 21 වැනිදා දක්වා දකුණු කොරියාවේදී ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය හා 2017 ජූලි 8 වැනිදා සිට 16 වැනිදා දක්වා බොට්ස්වානාහිදී ආසියානු යොවුන් ලෝක දැල්පන්දු ශූරතාවලියටද ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිතය.
අන්තර් ක්‍රීඩා සමාජ විවෘත තරගාවලියේ ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් ඉහත සඳහන් අන්තර්ජාතික තරගාවලි සඳහා නම්කෙරෙන මූලික දැල්පන්දු පුහුණු සංචිත සඳහා ඇතුළත් කර ගැනීමට දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ. එම සංචිත සඳහා උස අඩි 5 අඟල් 6 ට වැඩි ක්‍රීඩිකාවන් කෙරෙහි ඉදිරි ජාතික දැල්පන්දු පුහුණු සංචිතය කැඳවීමේදී වඩාත් අවධානය යොමු කරන බව දැල්පන්දු සංගමය පවසයි.
දැල්පන්දු සම්මේලනය මෙම වසරට පවත්වන පස්වැනි දැල්පන්දු තරගාවලිය මෙය වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.